වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්ට ප්‍රමාණවත් වැටුප් සහ දීමනා අහිමි වීම හේතුවෙන් ඔවුන් විදේශගතවීම, සේවය හැරයාම ඇතුළු සෞඛ්‍ය සේවයේ මානව සම්පත පිළිබඳ බරපතල අර්බුද රාශියක් මේ වන විට නිර්මාණය වෙමින් පවතින විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.

තමන්ගේ වැටුප රුපියල් 35,000 කින් , රුපියල් 10,000 කින් වැඩිකර ගැනීමට සෞඛ්‍ය ඇතුළු වෘත්තියවේදින් පාරේ සටන් කරද්ද‍ මහබැංකුවේ නිලධාරින් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ඔවුන්ගේ වැටුප් ලක්ෂ 7 කින් 8 කින් ඉහළ දමාගැනීම කණගාටුවට කරුණක් බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවැසීය.

අද (21) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති දූෂණ විරෝධී බලවේගයේ මාධ්‍ය හමුවට විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සහභාගි වූ අතර එහිදී අදහස් දැක්වූ මල් සංජීව මහතා මෙසේ ද පැවැසීය.

‘‘රටේ සෞඛ්‍ය අර්බුදය ජාතික අර්බුදයක් බවට වර්ධනය වන්නේ රටේ සෞඛ්‍ය පහසුකම් සැපයිම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් නොවන තත්ත්වයක් යටතේ. රෝහල් පද්ධතිය තුළ අත්‍යාවශ්‍ය ඖෂධ නොමැති වීම , ශල්‍ය උපකරණ සැලකිය යුතු ප්‍රමාණයක් නොමැති වීම , එදිනෙදා සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට නොහැකි වීම , ශල්‍යාගාර පහසුකම් පවත්වාගෙන යාම සඳහා අවම ප්‍රතිපාදන තමයි මේ වන විට ලැබෙන්නේ.

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්ට ප්‍රමාණවත් වැටුප් සහ දීමනා අහිමි වීම හේතුවෙන් ඔවුන් විදේශගතවීම සේවය හැරයාම ඇතුළු සෞඛ්‍ය සේවයේ මානව සම්පත පිළිබඳ බරපතල අර්බුද නිර්මාණය වෙමින් පවතින අවස්ථාවක්. එවැනි අවස්ථාවක රට ගොඩනැගිය යුතු බවට පසුගිය කාලයේ ජනමාධ්‍ය ඔස්සේ ජනතාවට කරුණු පැහැදිලි කළ මහ බැංකු අධිපතිවරයා , මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා , නියෝජනය කරන මහබැංකු කණ්ඩායම අසීමිත ලෙස තමන්ගේ වැටුප් හා දීමනා වැඩි කර ගැනීම පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ඇතිවෙලා තිබෙනවා.”