පාසල් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කරන සක්වල වැඩසටහන නවත්වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබෙන බවත් විපක්ෂ නායකවරයා සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ දේශපාලන වාසි ලබාගැනීමට නොව රටේ දරුවන්ගේ අනාගතය නගා සිටුවීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවැසීය.

අද (21) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා මේ බව සඳහන් කළ අතර මෙම මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමල් පෙරේරා මහතාද සහභාගි විය.

ජනතා විමුක්ති පෙරමුණ රටේ අධ්‍යාපනය විනාශ කරන්න නොයෙකුත් දේවල් සිදුකර තිබෙන බවත් විශ්ව විද්‍යාල දරුවන් දේශපාලනිකව නොමග යවා විශාල විනාශයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකර ඇති බවත් ඒ මහතා හෙතෙම සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජේ සී අලවතුවල මහතා මෙසේ පැවැසීය,

“දරා ගැනීමට නොහැකි අපහසුතා ගණනාවක ජනතාව අද වන විට මුහුණ දීලා තිබෙනවා. අදවන විට භාණ්ඩවල මිල දිනෙන් දින වැඩිවෙමින් තිබෙනවා. මීට හේතුව තමයි අධික බදු බර. ජනතාව මිලදී ගන්න සියලු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වලට රජය බදු අය කිරිම හරහා එදිනෙදා ජිවිතය ගත කරගැනීමට ජනතාවට නොහැකි වෙලා තිබෙනවා. දරුවන්ට තුන්වේල ලබාදීමට නොහැකි දෙමාපියන් ගණනාවක් අද රටේ ජිවත් වෙනවා. ඒ නිසා පාසල් දරුවන්ගේ මන්දපෝෂණය ඉහළ යමින් තිබෙනවා. උදේ ආහාර වේල නැතිව පාසල් එන දරුවන් ප්‍රමාණය වැඩිවී තිබෙන බව පාසල්වල විදුහල්පතිවරු ගුරුවරු දිගින් දිගටම සඳහන් කරනවා. ඒ වගේම දරුවන්ට පාසල් පොත් , උපකරණ අරන් දෙන්න බැරි දෙමාපියන් ගණනාවක් රටේ සිටිනවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වලට අමතරව අදවන විට විදුලි බිල , ඉන්ධන මිල දරාගැනීමට නොහැකි තත්ත්වයටක ජනතාව අද පත්වෙලා තිබෙනවා. මේ නිසා රටේ ජනතාව තමන් සතුව තිබෙන රන් භාණ්ඩ මේ වනවිට බැංකුවලට උකස් කරලා තිබෙන්නේ. අද වනවිට ඒ රන් භාණ්ඩ සින්න වෙලා. පසුගිය මාස කිහිපයේ රටේ ජනතාව ජීවත් වුණේ තමන් සතුව තිබෙන රණ් භාණ්ඩ උකස් කරලා.

අද වනිවට කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්ත ගණනාවක් වැසී ගොස් තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ට වර්තමානයේ පවතින විදුලි බිල , ඉන්ධන මිල දරාගැනීමට නොහැකි වෙලා තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තවල වැඩකළ ලක්ෂ ගණනාවකට අද වනවිට රැකියා අහිමි වෙලා තිබෙනවා. ඔවුන්ගේ ආදායම් අහිමි වෙලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ ජනතාවට තමන්ගේ එදිනෙදා ජිවිතය ගෙනියන්න බැරි විශාල පිරිසක් රට තුළ ජිවත් වෙනවා. මේ නිසා රටේ හොරකම් ද විශාල ලෙස ඉහළ ගිහින් තිබෙනවා.

පාසල්වල අධ්‍යාපනය කඩා වැටී ඇති අවස්ථාවක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දුක්ෂරතා තිබෙන පාසල්වලට පරිඝණක යන්ත්‍ර , ස්මාර්ට් බෝට් , පාසල්වලට බස්රථ සක්වල වැඩසටහන යටතේ පාසල් වලට ලබාදීම සිදුකරනවා. මෙම වැඩසටහන සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් පිරිස් ඔවුන්ගේ විවේඡන ඉදිරිපත් කරනවා. බංකොලොත් වි තිබෙන ආර්ථිකයක් තුළ රජයට මේ සියල්ල සිදුකිරිමට නොහැකි තත්ත්වයක විපක්ෂ නායකවරයා පක්ෂයට ලැබෙන මුදල්වලින් දේශපාලන කටයුතු නොකර රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළට තමයි ජනතා විමුක්ති පෙරමුණ විවේඡන ඉදිරිපත් කරන්නේ. විපක්ෂ නායකවරයාගේ සක්වල වැඩසටහන නවත්වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන වැඩපිළිවෙලට විරෝධය දක්වන්න තැනට අද ජනතා විමුක්ති පෙරමුණ පත්වෙලා තිබෙනවා. විපක්ෂ නායකවරයා සක්වල වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ දේශපාලන වාසි බලාගෙන නෙවෙයි. රටේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා තමයි විපක්ෂ නායකවරයා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ රටේ අධ්‍යාපනය විනාශ කරන්න නොයෙකුත් දේවල් සිදුකරලා තිබෙනවා. විශ්ව විද්‍යාල දරුවන් දේශපාලනිකව නොමග යවලා විශාල විනාශයක් සිදුකරලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ කඩාකප්පල්කාරි ක්‍රියා නිසා විශ්ව විද්‍යාල දරුවන්ට අවුරුදු 3 කින් 4 කින් නිම කිරිමට තිබෙන පාඨමාලාව නිම කරන්න අවුරුදු 7 ක් 8 ක් යනවා. රටේ අලුත් අධ්‍යාපන ආයතන ඇති කිරිමට නොදි ජනතා විමුක්ති පෙරමුණ විරෝධතා දක්වලා තිබෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරින්ගේ දරුවන් ඉගෙන ගන්නේ විදේශ රටවල. අධ්‍යාපනය ලබන්න තිබෙන අයිතිවාසිකම ඔවුන් රටේ දරුන්ට අහිමි කරලා තිබෙනවා”