ආණ්ඩුව කඩන් වැටෙන්න ඔන්න මෙන්න නිසා ඔවුන් දන්නවා පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජන බලවේගයට අති විශිෂ්ට ජයක් ලැබෙන බව. ඒ නිසා ජනතාව පිට අධික බදු බරක් පටවමින් බඩු මිල වැඩි කරමින් මැතිවරණය නොපවත්වන්නට කටයුතු කරන බව පසුගිය දා (19) බණ්ඩාරගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.

ආණ්ඩුව කඩන්න වැටෙන්න ඔන්න මෙන්න. වැලේ වැල් නැ. ඒ අය දන්නවා පළාත් පාලන මැතිවරණයෙන් සමගිජන බලවේගයට අති විශිෂ්ට ජයක් මුළු රටෙන්ම ලැබෙන බව. ඒ නිසා වර්තමාන රාජපක්ෂ සෙවනැලි අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව විදුලි බිල වැඩි කරන බදු ගසන, මිනිසුන් විනාශ කරන, බඩු මිල වැඩි කරන මේ ආණ්ඩුවට සිදු වෙනවා මැතිවරණය තිබ්බොත් බඩුත් අරන් ගෙදර යන්න. ඒකට බයේ තමයි මේ මැතිවරණය තියන් නැත්තේ.

මිත්‍රවරුනි

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රජයේ මුද්‍රණාලයේ ප්‍රධානියත් එයා. ඒ වගේම ස්වාධින මැතිවරණ කොමිසමට හොඳ අවංක සිතුවිලි තිබෙන කණ්ඩායමක් සිටියත් එයට අනියම් ලෙස බලපෑම් කරන්නෙත් වර්තමාන ජනාධිපතිවරයායි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට වැඩේ කරන්න ඉඩ නොදී මැතිවරණය පවත්වන්න ඉඩ නොදී ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමත් පාලනය කරනවා. එයයි ඇත්ත.

හැබැයි එක දෙයක් මතක තියා ගන්න. ලක්ෂ 220ම හිතනවා මිනිසුන්ට ඡන්ද අයිතිය අහිමි කළොත් එය බරපතල වරදක් කියලා අපි දන්නවා. ඒ නිසා මැතිවරණයට බාධා කරන සියලුම ක-ුමන්ත්‍රණකාරීන් අධිකරණය හමුවට අපි ගෙන එනවා.

අද රටේ ප්‍රශ්න දිහා බැලුවම පේන්නේ අවසානයේ මේ රටේ ප්‍රශ්න විසදෙන්නේ මොන නායකත්වයටද මොන දේශපාලන පක්ෂයටද මොන කණ්ඩායමටද පුළුවන් කියන එකට උත්තරය සමගි ජන බලවේගයයි. මේක මුදල් ඩොලර් සෘජු විදේශ ආයේජන ගැන ගැටලුවක්. ඔබලාම තීන්දුවක් ගන්න උතුරු කොරියාවයි කියුබාවයි සමග පමණක් සම්බන්ධකම් තිබෙන අන්ත සමාජවාදී දේශපාලන පක්ෂයකටද මේ රට බේර ගන්න පුළුවන් එහෙම නැතිව නිර්මාණශීලී වැඩපිළිවෙළක් තුළින් සුපුරුදු රාමවකට කොටු නොවී අලුතින් සිතා ජාත්‍යන්තරය එක්ක ධනවත් රටවල් සමග එකතු වී රටට සම්පත් ලබා ගෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ක්‍රියාත්මක කරන සමගි ජන බලවේගයේ තුන්වෙනි මාවත මැද මාවත තමයි මේ රට ගොඩ ගන්න පුලුවන්.

දැන් මුළු රටම කැළඹිලා. ඒ මම වැදගත් හෙළිදරව්වක් නිසා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ වෙබ් අඩවියට ගියාම ඒ අය කරන්න අපේක්ෂා කරන වැඩ පිළිවෙළ හොඳ ලස්සනට ඒකේ තිබෙනවා. ඒ තමයි මේ රටේ නිෂ්පාදනය ධනය උත්පාදනය ව්‍යාපාර ඒ සියල්ලක්ම කරන්න පුළුවන් රාජ්‍යයට විතරයි. දැන් මේ නගරයේ කඩ ටික පවා රජයට අයිතියි. ඉඩකඩම් පවා රජයට අයිතිය. සම්පත් පවා අයිති රජයට.

මිත්‍රවරුනි
රටක් ගොඩ එන්නේ ධනය උත්පාදනය වෙන්නේ මානුෂීය ධනවාදය තුළ ක්‍රියාත්මක වන පුද්ගලික ව්‍යවසායකවත්වය තුළින්. අපේ රටේ අති මහත් බහුතරයක් රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබන ආයතන බවට ඔප්පු වෙලා. මේ රටේ ජනතාවගේ බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් වියදම් කරන ඒ ආයතන නඩත්තු කරනවා දැනටමත්. ඒ නිසා මේ වගේ ක්‍රමයකින් රටක් ලෙස ඉදිරියට යන්න පුළුවන්ද කියලා මම අහනවා.

මිනිසුන්ගේ ජන ජීවිතයේ ධන උත්පාදනය ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය සියලු දෙනාගෙන්ම උදුරා ගෙන රජය තීන්දු කරයි කවුද ව්‍යාපාර කරන්නේ කියලා. ව්‍යාපාර කරන්නේ රාජ්‍ය ආයතන. පෞද්ගලික ආයතනවලට ඉඩක් නැහැ. පෞද්ගලික දේපල සම්පත් සියල්ලම ආණ්ඩුවට ගන්නයි ජනතා විමුක්ති පෙරමුණ සැලසුම් කර තිබෙන්නේ.

්ඒ නිසා මම අහන්න කැමතියි පහුගිය දවස්වල ඔය සමහර අය හිත හිතා හිටියා නම් මේ ජනතා විමුක්ති පෙරමුණ තමයි රටට විසදුම කියලා. එහෙනම් හිතන්න. ඔබේ නිවස අහිමි වෙනවකොට. කුඩා තේ වත්ත රබර් වත්ත කුඩා කර්මාන්තය, කඩය අහිමි වෙනකොට නිවසේ ඉඩම අහිමි වෙනකොට ඔබලා සුදානම් ද ධනය උපයා සශ්‍රීක වුණ දේ ගෙඩිය පිටින් රජයට දෙන්න.

මිත්‍රවරුනි

කරුණාකරලා ඇස් ඇරලා බලන්න. මේ තමයි අන්ත සමාජවාදය. මේකට කිසිම කෙනෙක් දියුණු වෙලා නැහැ.. අන්ත සමාජවාදය තුළ රට අන්ත පරිහානිය කරා ගමන් කරනවා. ඔබලා ඉඩම් අයිතිය නිවෙස් අයිතිය ව්‍යාපාරය අයිතිය ගැන විශ්වාස කරනවා නම් ඒ සදහා අලුත් දේශපාලන සංස්කෘතියක් තුළින් පෞද්ගලික ව්‍යවසාය දියුණු කරන ක්‍රමයක් හරහා රට ගොඩ නගන්න සමගි ජන බලවේගය සමග සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිනවා.

හිතාදර මිත්‍රවරුනි

අද අපේ තාරුණ්‍යය ඉල්ලා සිටිනවා ක්‍රමයේ වෙනසක්. මේ ක්‍රමයේ වෙනසක් ඉල්ලා නේද කපුටු මුදල් ඇමතිව, මයිනා අගමැතිව එලෙව්වේ. 69 ලක්ෂයක් වරමක් දුන් ජනාධිපතිවරයාව කනෙන් අල්ලා රටින් එලියට දැන්මේ.

හැබැයි මේ රටේ තරුණයන් ඉල්ලා සිටි ක්‍රමයේ වෙනස වුනාද. ? ඒ තුළ වුනාටම පාර්ලිමේන්තුව ඇතුළේ රට කෑව හොරු 134ක් එකතු වෙලා රට කාපු රාජපක්ෂ හොර නඩය රකින පුද්ගලයකු ජනාධිපති ලෙස පත් කළා. කිසිම සිස්ටම් චේන්ජ් එකක් වුණේ නැහැ. එකම දෙයයි වුණේ රාජපක්ෂලා විනාශ කළ රටේ වන්දි ගෙවන්න වුණේ ලක්ෂ 220ට.

ඉහළ මාලයේ සිට ජනතාවට කියනවා වන්දි ගෙවන්න කියලා. මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට සැනසීමක් නැහැ. දුවා දරුවන්ට පොත් ටික අරන් දෙන්න නැහැ. පාසල් උපකරණ අරන් දෙන්න නැහැ. ඔබ හිතනවද රට කාපු රාජපක්ෂලාට මේ ප්‍රශ්න තිබෙනවාද කියලා. නැහැ මිත්‍රවරුනි. ඔවුන් සුරසැප ජීවිතයක් ගත කරනවා. රටේ ජනතාවට හෙන ගැහුවත් කමක් නැහැ රාජපක්ෂ රජ පවුල ආරක්ෂා කරන්න ඕන කියන එකයි මේ රජය හිතන්නේ

කිසිම හිතක් පපුවක් නැතිව විදුලි බිල සියයට 250කින් ඉහළ දමනවා. ජනතාව ගැන පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. ඒ නිසා මම ආදරණීය ජනතාවට කියන්න කැමතියි ක්‍රමයේ වෙනසක් ආරම්භ කිරීමට අපි දැන්වත් පටන් ගමු. අපිට අහිමි කරන්න යන පළාත් පාලන මැතිවරණ කෙසේ හෝ පවත්වා ගෙන එහි විශිෂ්ට ජයක් ගෙන මේ ක්‍රමයේ වෙනසක ඇති කරමු.

ආදරණීය මිත්‍රවරුනි

තිත්ත ඇත්ත කතා කරමු. පවතින අධ්‍යාපන ක්‍රමය තුළ අපිට ගොඩ එන්න බැහැ. ඒකට මේ රටේ අධ්‍යාපන විප්ලවයක් ක්‍රියාත්මක විය යුතු යි. ඉංග්‍රීසි භාෂා සාක්ෂරතවා ඉහළ නැංවිය යුතුයි. පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂණ විද්‍යාව ඇතුළුව විෂය නිර්දේශයන්ගේ බරපතළ වෙනසක් ඇති කළ යුතු යි. විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු, ගණිතය, වෛද්‍ය විද්‍යාව, පාරිසරික විද්‍යාව, කළමනාකරණ විද්‍යාව වැනි විෂයන්ට වැඩි තැනක් ලබා දිය යුතු යි.

ලෝකයේ දියුණු රටවල ඒ අධ්‍යාපන ක්‍රමය නිර්මාණය වෙන්නේ ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන ආකාරයට. අපේ රටේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමයක් තුළ රාමුවකට කොටුවෙලා එක තැන පල් වෙනවා. දියුණු ලෝකයේ රටවල් නව තාක්ෂණය ඔස්සේ පුදුමාකාර ආර්ථීක පිමි පනිනවා. ඔග්මෙන්ටඩ් රියැලටි, වර්චුවල් රියැලටි, බිග් ඩේඩා, මැෂින් ලර්නින් වැනි ලොව දිනන අලුත් සංකල්ප උපයෝගී කර ගත යුතු යි.

පුදුම විදිහට ඒ රටවල තාරුණය නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට යද්දි මේ රටේ දවසින් දවස තවතවත් අහිමි පරම්පරා නිර්මාණය වෙනවා. මතක තියා ගන්න පනස් ගණන්වල සිංහල පමණයි කියන ප්‍රතිපත්තිය දේශපාලන හේතුන් මත ගෙනාව නිසායි මේක වුණේ. සිංහල පමණයි කියන දේ මහා දේශප්‍රේමීත්වය නෙවෙයි. ඒ පව අද පුරවැසියන් අත් විදිනවා. ඒ කාලයේ තරුණ පරපුරට මේ දැනුම විදගන්න බැරි වුණා..

මේ දේ ලොකු ලොකු පවුල්වලට බලපාන්නේ නැහැ. ලොකු ලොකු පවුල්වල ළමයි ප්‍රභූ පැළැන්තියේ පාසල්වල ජාත්‍යන්තර පාසල්වලට යවනවා. මම අහන්නේ මරදන්කඩවල විද්‍යාලායේ දරුවෙක් බැංකු සහකාර තනතුරකට ඉල්ලුම්පත්‍රයක් දැමුවොත් හා කොළඹ රාජකීය විද්‍යාලයේ දරුවෙක් එම තනතුරට ඉල්ලුම් පත්‍රයක් දැම්මොත් මරදන්කඩවල විද්‍යාලයේ දරුවාගේ ඉල්ලුම් පත්‍රය කුණු කූඩයට යනවා. රාජකීය විද්‍යාලයේ දරුවාගේ ඉල්ලුම් පත්‍රය ගැන සලකා බලනවා.

මේක තමයි මිත්‍රවරුනි අපේ රටේ අධ්‍යාපනයේ ඇති බෙදීම. අධ්‍යාපන අසාධාරණත්වය. රටේ පාසල් 10155ක් තිබෙනවා. මම ඔබලාට කියන්න කැමතියි මේ රටේ පාසල් පද්ධතිය ජාත්‍යන්තර මට්ටමේ තත්ත්වයට ගෙන ඒමේ වගකීම සමගි ජන බලවේග රජය බාර ගන්නවා.

මිත්‍රවරුනි

ඔබලාගේ ජීවන බර අඩු කරන්න රජයට සල්ලි අවශ්‍යයි. ඔබලාගේ ජන ජීවිතය ශක්තිමත් කරන්න නම් සල්ලි අවශ්‍යයි. සල්ලි නැතිව මුකුත් කරන්න බැහැ. මේ ගැන කතා කරන කොට ලක්ෂ 220ක් වූ උගත් බුද්ධිමත් ජනතාව හිතන්න ඕන විපක්ෂයේ කුමන කණ්ඩායමට ද හැකි රටට ආයොජන සම්පත් මුදල් ලබා ගන්න කියලා.

හැත්තෑපස් වසරක් ගැන කතා කරද්දි හැමදාම රටට වැඩක් කළේ ආණ්ඩු බලය අරන්. කවුරුත් වැඩ කළේ ආණ්ඩුවේ අගමැති ජනාධිපති ඇමතිකම් අරගෙන. මට කියන්න හැත්තෑපස් වසරක ඉතිහාසයේ රටේ ජනතාවට වැඩ කරපු විපක්ෂයක් හිටියද. මම දන්නා තරමින් නම් නැහැ. හැබැයි 2020 පෙබරවාරි මාසයේ සමගි ජන බලවේගය ආරම්භ කළා. වයස අවුරුදු 3යි. මේ ඉන්න හැමෝම ආරම්භක සාමාජිකයන්.

අපි ඉල්ලපු පළමු මැතිවරණයේ දී සියයට 23.9ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන මන්ත්‍රී ආසන 54ක් හා ඡන්ද ලක්ෂ 27ක් අරගෙන වාර්තාවක් තිබ්බා. මේ අපේ මංගල පළාත් පාලන මැතිවරණය. ඕන තරම් බණ්ඩාරගම ජනතාව පළාත් පාලන මැතිවරණවල දී යූඇන්පීයට ජේවීපියට, ශ්‍රීලංකා එකට ඡන්දය දීලා ඇති. කවදාවත් දුරකතනයෙන් ඉදිරිපත් වෙලා නැහැ. මේ අපේ පළමු අවස්ථාව.

එහෙනම් මිත්‍රවරුනි

අලුත් ගමනක් ගැන කතා කරනවා නම් පරණ අයට කියන්න දෙයක් නැහැ. අපි තමයි අලුත් මාවත අපි තමයි අලුත් ගමන. අපි තමයි මේ රටට ඇති එකම විකල්පය.

ඒ වගේම රජයේ පාසල් 70කට ලක්ෂ 3442ක් වටිනා බස් රථ දුන්නා. අනිවාර්යෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 8ටම පළමු වටයේ දී ආසනයකින් එක පාසලකට බස් රථ දෙන්න සූදානම්. මැතිවරණ කාලයේ දෙන්න තහනම් නිසා නතර කලා. රජයේ රෝහල් 56කට මිලියන 191.7ක් වටිනා රෝහල් උපකරණ බෙහෙත් දුන්නා. රජයේ පාසල් 22කට මිලියන 17.8ක් වටිනා සුහුරු පන්ති කාමර උපාංග දුන්නා. තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කරන්න

එහෙනම් මිත්‍රවරුනි

කවුද බලයක් නොමැතිව වැඩ කරලා තියෙන්නේ. මේ රතු පාට සහෝදරවරු වතුර උගුරක් දීලා තිබෙනවාද? එක බත් පැකට් එකක් දුන්නද? නෑ මිතුරනි. එයාලා බස්වලට සල්ලි ගෙවලා දිස්ත්‍රික්කයේම අය එක තැනකට ගෙනත් මහා ජන රැල්ලක් තිබෙනවා කියලා එයාලා පෙන්වනවා විතරයි.

මිත්‍රවරුනි

මේ ජන රැළි බස් ප්‍රවාහනයෙන් නිර්මාණය කරන්නබැහැ. ඒක ඇති වෙන්නේ රටේ ජනතාවගේ හදවතේ. ඒ රැල්ල නිර්මාණය වෙනවා. ඒ අයගේ ප්‍රාර්ථනාව කඩා වැටුණු දේශය ගොඩ ගන්න පුළුවන් ජනතාවගේ දුක කදුළු වේදනාවෙන් බේර ගන්න පුළුවන් කණ්ඩායම කුමක්ද කියන එකට ඇති එකම උත්තරය සමගි ජන බලවේගයය.