රටේ ස්වෛරිත්යට ඍජුවම බලපෑම් කරමින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව පැවසූ ඇමැති හරීන් ප්‍රනාන්දුව දින 7ක් ඇතුලත ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බව දේශප්‍රේමී ජාතික බලවේගයේ කැඳවුම්කරු නීතිඥ නුවන් බැල්ලන්තුඩුව මහතා අවධාරණය කරයි.

එසේ නොවන්නේ නම් සිය විරෝධය දැඩි කිරීමට පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ. ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයට විරෝධය පළකරමින් පසුගියදා ‘ජන අරගලයේ පුරවැසියෝ’ ඇතුළු සංවිධාන කීපයක් විරෝධතාවක නිරත වූ අතර, එම අවස්ථාවේදී ඔහු මේ ප්‍රකාශ කර තිබුණා. කොල්ලුපිටිය සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙම විරෝධතාව පැවැති අතර ‘හරීන් වහා ඇමැතිකමින් නෙරපනු’, ‘ඉන්දියාවට රට විකිණීම වහා නවතනු’ යන විරෝධතා පාඨ කියමින් මෙහිදී උද්ඝෝෂකයින් ඇමැතිවරයාට විරෝධය පළ කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූනීතිඥ නුවන් බැල්ලන්තුඩුව මහතා,

“හරීන් ඇමැතිවරයාගේ ප්‍රකාශය රනිල් වික්‍රමසිංහගේද මේ ආණ්ඩුවේද කියලා අපි දන්නේ නැහැ. ඉන්දියානු වහල්භාවය සහ පරගැතිභාවය මේ ප්‍රකාශ මගින් එළියට එනවා. මේ රටේ දේශපාලන නායකත්වය ලබාගන්න නම් ඉන්දියාව නැතිව බැරි බව මේ ප්‍රකාශවලින් පැහැදිලි වෙනවා. අපි ජනාධිපතිවරයාට දින හතක් දෙනවා. හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා ඉවත් කිරීමට. ඔහු මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගත යුතුයි”

ජාමුනි කමන්ත තුෂාර මහතා,

“සංචාරක ඇමැති ඉන්දියාවේදී කළ මෙම ප්‍රකාශයට සමාව ගතයුතු වගේම ඔහු තනතුරින් ඉවත් කළ යුතුයි. ඔහු සාමාන්‍ය පුරවැසියෙක් නෙවෙයි. වගකිවයුතු ඇමැතිවරයෙක්. අපි මේ කරන්නේ ඔහුට රතු එළියක් දැල්වීම පමණයි.”

මෙම අවස්ථාවේ සංචාරක අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි පොලිස්ආරක්‍ෂාවක්ද යොදවා තිබිණි.