මෙරට පුරවැසියකු නොවන ඩයනා ගමගේ මන්ත්‍රීවරියක් ලෙස දිවුරුම්දුන් අවස්ථාවේ පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කර තිබෙන බවත් ඇය මෙතෙක් කල් රාජ්‍ය සම්පත් අවභාවිතා කර තිබෙන නිසා අයව වහා අත්අඩංගුවට ගතයුතු බවත් වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම පවසනවා.

‘‘රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තිබෙනවා. ඒ අනුව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ වහාම අත්අඩංගුවට ගත යුතුයි. ඩයනා ගමගේ කටයුතු කරලා තිබෙන්නේ ශ්‍රී ලාංකීය පුරවැසියෙක් ලෙස නෙවෙයි. ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස දිවුරුම් දුන්න අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තමයි දිවුරුම් දීලා තිබෙන්නේ. ඒ වගේම ඩයනා ගමගේ රජයේ මුදල් , රජයේ වාහාන භාවිතා කරලා තිබෙනවා. එ් සඳහා ශ්‍රී ලංකා පොලිසිය පියවරක් ගත යුතුයි. ඩයනා ගමගේට දිට්ඨ ධම්ම වේදීනිය කර්මය පල දීලා තිබෙනවා.

මාතර මාලිම්බඩ තෙලිජ්ජවිල දුරකථන අලෙවි සැලක හිමිකරුවෙක් මත්පැන් අලෙවි සැලක් මංකොල්ල කෑමේ චෝදනාව යටතේ 2020 දී මාලිම්බඩ පොලිසිය අත් අඩංගුවට ගන්නවා. මෙම පුද්ගලයාට මාලිම්බඩ පොලිසිය අස්ථි බිදෙනකම් පහර දිලා තිබෙනවා. පසුව මත්පැන් අලෙවි සැල මංකොල්ල කෑමේ සිද්ධියට මෙම පුද්ගලයා සම්බන්ධ නෑ කියලා මාලිම්බඩ පොලිසිය දැන ගන්නවා.

සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් මාලිම්බඩ පොලිසිය දුරකථන අලෙවි සැලේ හිමිකරුගේ පවුලේ උදවියෙන් සමාව ඉල්ලලා තිබෙනවා.

පසුව පොලිසිය විසින් පහර දුන් පුද්ගලයා මාලිම්බඩ පොලිස් නිලධාරීන්ට විරුද්ධව මූලික අයිතිවාසකම් නඩුවක් ගොනුකරනවා. ඒ මූලික අයිතිවාසකම් නඩුව ඉවත් කර ගන්නා ලෙස පොලිසිය පහර දුන් පුද්ගලයාට මාලිම්බඩ පොලිස් නිලධාරීන්ගෙන් තර්ජන පැමිණ තිබෙනවා. නමුත් පොලිසිය පහර දුන් පුද්ගලයා මෙම මූලික අයිතිවාසකම් නඩුව ඉවත් කර ගන්නේ නෑ.

පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දුන් පුද්ගලයාගේ දුරකථන අලෙවි සැල ඔහුගේ යහලුවෙකුට භාර දීලා එළියට පිටවගොස් තිබෙනවා. ඒ අවස්ථාවේ දුරකථන අලෙවි සැලහිමි පුද්ගලයාගේ යහලුවාට නාඳුදන තුවක්කුකරුවෙක් පැමිණ වෙඩි තබා තිබෙනවා. ඒ වෙඩි තැබීමෙන් එම තරුණයා මියයනවා. මාස 4 ක කාලයක් ගත වෙලා ගොස් තිබෙනවා. නමුත් තවම මේ සම්බන්ධයෙන් පොලිසිය තවම නිසි ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. මෙම සිද්ධිය වුණ කාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළේ අජිත් රෝහණ මහත්තයා

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වුණ කිසිදු පැමිණිල්ලකට එතුමා ප්‍රතිචාර දක්වන්නේ නෑ.

ඉන්පසු 2024.02.28 මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරනවා. අදවනතුරු ඒම ලිපිය කිසිදු පිළිතුරක් ලැබිලා නෑ. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට, ටිරාන් අලස් ඇමැතිවරයාට, ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරන්ට මම දැනුම් දිලා තිබෙනවා.

පොලිසිය විසින් දැනට සොයාගෙන තිබෙන්නේ වෙඩික්කරු පැමිණි යතුරු පැදිය පමණයි. ඒ යතුරු පැදිය කුලී පදනම මත ලබාදුන්න පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් සිද්ධියට සම්බන්ධ කිසිදු අයෙක් අත්අඩංගුවට ගෙන නෑ. මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

මෙම සිද්ධියට පොලිසිය සම්බන්ධයිනම් ඒ පොලිස් නිලධාරින්ට විරුද්ධව මගේ පෞද්ගලික වියදමින් ඒ සියලු දෙනාට විරුද්ධව අධිකරණයේ නඩු පවරනවා”