කථානායකවරයාට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා සහාය ලබාදීමට උත්තර ලංකා සභාගය තීරණය කර තිබෙන බවයි එම සංවිධානයේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ. ඒ අනුව ඊයේ (26) රැස්වූ උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වන්නේ.

මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කිරීමේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර තිබේ.

ලබන මස 05 වනදාට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදීමට විපක්ෂය සැලසුම් කර තිබෙන මෙම විශ්වාසභංග යෝජනාව සඳහා උත්තර ලංකා සභාගයේ මන්ත්‍රී කණ්ඩායම ද සහාය පළකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ.