වර්තමාන ආණ්ඩුව රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදුරාගෙන අන්තනෝමතික පාලනයක යෙදෙන තත්ත්වයක් තුළ මේ රටේ විකල්ප ආණ්ඩුව සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද(29) පෙරවරුවේ මහනුවර නගර මධ්‍යයේ පැවති ජනතා විරෝධතාවයට එක් වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.අති විශාල ජනතා සහභාගිත්වයකින් පැවැති මේ විරෝධතාවය

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සංවිධානය කරනු ලැබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් හලීම්,පළාත් සභාවේ හිටපු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියහ.

මේ වන විට රටේ තරුණ පරම්පරාව රට හැර යන තැනට පත්ව ඇති බවත්, ආණ්ඩුවට අවශ්‍ය වන්නේ එහෙයියන් සහ වන්දිභට්ටයන් පමණක් ඉතිරි කර ගැනීම බවත් විපක්ෂ නායකතුමා පැවසීය. ආණ්ඩුවේ සහ ඇමතිවරුන්ගේ අතකොලුවක් බවට පත්නොවී සත්‍ය කතා කළ බුද්ධි මාරඹේ වැනි වියතුන් තනතුරුවලින් නෙරපා හරිමින් ආණ්ඩුව යන ගමන පිළිබඳව රටපුරා ජනතාව තුළ ඇත්තේ දැඩි පිළිකුලක් බවද ඒ මහතා පැවසීය.

ආණ්ඩුවේ රාජ්‍ය මර්දනයට,මිලේච්ඡ හැසිරීමට එරෙහිව මේ රටේ සමස්ත ජනතාව නැගී සිටින බවත් ඒ මහජන බලවේගය නිර්මාණය කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

මේ රටේ ජනතාව අගනුවරට පැමිණ ආණ්ඩුවේ ඇස් අරින දවස වැඩි ඈතක නැති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ මහා ජනතා නැගිටීම නැවැත්වීමට ආණ්ඩුවට හිතන්නටවත් නොහැකි බවද පැවසීය.