බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් වශයෙන් ස්ථාපිත වීමේ 74 වන නිදහස් දිනය අපි අභිමානය සහ ගෞරවය මුසු ව සිහිපත් කරමු.සමරමු.!

මාතෘ භූමියට නිදහස උරුමකර දීමට තම ජීවිතද පරදුවට තබමින් දිවිහිමියෙන් සටන් වැදුණු යුග පුරුෂයන් විශාල ප්‍රමාණයක් වේ. ඔවුන් එසේ ජීවිත පරිත්‍යාග කළේ මතු උපදින දරු පරම්පරාවට නිදහස්ව නිවහල්ව හුස්ම ගැනීමේ දේශයක් බිහි කිරීමේ උදාරතර පරමාර්ථයෙන් මිස, තම පටු අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා නොවන බව සිහිපත් කළ යුතු අතර මේ මොහොතේ ඔවුන්ට දේශයේ උත්තමාචාරය හිමිවිය යුතුය.

නිදහස ලබා ඉක්මගිය කාල පරාසය පිළිබඳව හෘද සාක්ෂියට එකඟව ආපසු හැරී විමසා බැලූ කල රටක් ලෙස අප ලද ජයග්‍රහණ සේම පරාජයත් ද අප්‍රමාණ බව උපේක්ෂා සහගතව අවබෝධ කරගත යුතුය.අව්‍යාජ දේශප්‍රේමයකින් සහ නිර්ව්‍යාජ දේශානුරාගයකින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් කැප වූ පිරිස් සේම ව්‍යාජ දේශප්‍රේමයකින් සහ ව්‍යාජ දේශානුරාගයකින් ස්වකීය පටු අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කළ අවස්ථාවාදී කණ්ඩායම්ද මේ රට තුළ සිටි සහ සිටින බව අප දන්නා කරුණකි.

ස්වෛරී නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් පිළිබඳ වූ සිහිනය යථාර්ථයක් වන තාක්කල්,ඉතිහාසයේ දී නිදහස් දේශයක් වෙනුවෙන් ස්වකීය ජීවිත පූජා කළ කිසිවකුගෙන් අපට සමාවක් නොලැබෙන අතර අප නොවළහා කළ යුත්තේ ඔවුන්ගේ පවිත්‍ර සහ උදාර අපේක්ෂාවන් වෙනුවෙන් නිදහස් නිවහල් දේශයක් බිහි කිරීම උදෙසා තිරසාර ලෙස පෙනී සිටීමය.

 දේශපාලන ,ආර්ථික,සමාජ,සංස්කෘතික ,ආගමික,මාධ්‍ය යනාදී සකලවිද  අභ්‍යන්තර නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සුරක්ෂිත කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි.එවැන්නක් කළ හැකි වන්නේ  බලලෝභී දේශපාලන න්‍යාය පත්‍ර තුළින් නොවන බව අවධාරණය කළ යුතුව ඇත.

අපට පිටුපසින් සිටි බොහෝ රටවල් පෙරට ඒමේ රහස අවබෝධ කොට ගැනීමත්, අවස්ථාවාදය සහ බලලෝභීත්වය කරපින්නා ගත් පටු චින්තනය ඉවත් කොට සැබෑ කැපවීමකින් මාතෘ භූමියේ චිර පැවැත්ම වෙනුවෙන් ප්‍රායෝගික න්‍යායපත්‍රයක පිහිටා කටයුතු කිරීමත්  මේ මොහොතේ පළමු දෙවන සහ තෙවන ප්‍රමුඛතාවයන් විය යුතුය.

අපේ රටට නිදහස ලබා ගැනීම වෙනුවෙන් කැපවුණු, අරගල කළ සියලු දෙනාටම එකී ගෞරවය ඉමහත් භක්ත්‍යාදරයකින් පිරිනැමිය යුතු අතර ඔවුන් ප්‍රාර්ථනා කළ නිදහස අර්ථවත් වනුයේ හුදෙක් අධිරාජවාදීන් වෙතින් නිදහස ලද දිනය පිළිබඳ වගාඩම්බර කීමෙන් පමණක්  නොව එම නිදහස පියවරින් පියවර ඉදිරියට ගෙන යමින් දියුණු ප‍්‍රජාවක් ලෙස ලාංකිකයාට ජීවත් වීමට ඇවැසි පරිසරයක් නිර්මාණය කිරීමෙනි.

එම අරගලය ජයග්‍රහණය කිරීමටත් ඒ තුළින් දියුණු,නූතනවාදී,දේශයක් ලෙස අභිමානවත් ලෙස කටයුතු කිරීමටත් ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

සජිත් ප්‍රේමදාස 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක