මානව හිමිකම් කඩකිරීම, ගෝල්ෆේස් අරගලයට පහරදීමට අනුබලදීම ආධී නඩු රාශියක් තිබෙන දේශබන්දු තෙන්නකෝන් වැනි පුද්ගලයෙක් පොලිස්පති කිරීම මගේ ජීවිතයට තර්ජනයක් යන මැයෙන් මාධ්‍යවේදී තරිදු ජයවර්ධන විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න යන මත්වරුන්ට සහ සියලු ජනමාධ්‍ය ආයතන වෙත ලිපියක් යොමුකර තිබේ.

එම ලිපියට අනුව,

දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම ගැන මවිසින් ව්‍යවස්ථා සභාවට යොමු කරන ලද ලිපිය

සභාපතිතුමනි, සාමාජික මහත්ම මහත්මියනි,

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිසිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙනි

ජ්‍යෙෂ්ඨත්වය අනුව ශ්‍රී ලංකා පොලිසියේ තුන්වැනියා ලෙස සිටි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා ලෙස පත් කළ බවට ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කිරීමත් සමග මම දැඩි කළකිරීමටත් කණගාටුවටත් බියටත් පත්වීමි.

tharindu jayawardene

ජනාධිපතිවරයා විසින් පොලිස්පති ලෙස පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතුරෙන් වැඩිම චෝදනා ලත් පොලිස් නිලධාරියා මෙන්ම මූලික අයිතිවාසිකම් කඩ කළ පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය විසින් තීන්දු කරනු ලැබූ නිලධාරියකු වීම විශේෂත්වයකි.

මා 2011 වසරේ සිට ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන අතර 2021 වසරේ දී දේශබන්දු තෙන්නකෝන්ගේ තර්ජනයට ලක්වීම ගැන ශ්‍රී ලංකා පොලිසියට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කළ අතර ඊට අදාල පැමිණිලිවලින් පොලිස් පැමිණිල්ල ගැන සාධාරණ විමර්ශනයක් සිදු නොවූ අතර මානව හිමිකම් කොමිෂන් සභා පැමිණිල්ල තවමත් විභාග වෙමින් තිබේ.

එවැනි තත්ත්වයක දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීම විමර්ශනවලට දැඩි බාධාවක් මෙන්ම මාගේ ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

මා ජනමාධ්‍යවේදියකු ලෙස දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මාධ්‍ය හමු දෙකකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් 2021 වසරේ දී අසනු ලැබූ ප්‍රශ්න දෙකකට උරණ වූ එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වමින් මට තර්ජනය කළේය. ආයුද සන්නද්ධ හමුදා සාමාජිකයන් අතින් ඝාතනයට ලක්වීවැයි සැලකෙන එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්ට අත්වූ ඉරණම මාහටද අත්වනු ඇති බවට දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළේය. එසේම අනිකුත් අපරාධකරුවන්ට අත්වූ ඉරණම මටද අත්වනු ඇතියි දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළ අතර ඔහු එම ප්‍රකාශය කරන ලද්දේ අපරාධකරුවන්යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා පිරිස් පොලිසිය විසින් මරා දමමින් සිටි පසුබිමකදීය.

දේශබන්දු තෙන්නකෝන්ගේ මෙම හැසිරීමට විරෝධය පළ කරමින් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු වන මනූෂ නානායක්කාර මහතා ද නිවේදනයක් නිකුත් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත්, එවකට සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් වන මනූෂ නානායක්කාර සහ තලතා අතුකෝරල යන මන්ත්‍රීවරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වූහ. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ වාර්තාකරුවකු මේ සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුවෙන් කරුණු විමසීමක් ද කර තිබුණු අතර ජනමාධ්‍ය සංවිධාන එකතුව ද පරීක්ෂණයක් ඉල්ලා පොලිසියට පැමිණිල්ලක් යොමු කර තිබිණි.

දේශබන්දු තෙන්නකෝන්ගේ සහ දේශබන්දු තෙන්නකෝන් යටතේ සිටි පොලිස් නිලධාරීන්ගේ හැසිරීම හේතුවෙන් මාගේ නිවසට පොලිස් ආරක්ෂාව පවා යොදවා තිබුණු අතර මාගේ පැමිණිල්ලක සැකකරුවකු වන තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීම මාගේ ආරක්ෂාවටද ගැටලු‍වක් බව සඳහන් කරමි.

එසේම ගාලු‍මුවදොර සාමකාමී විරෝධතා භූමියට ප්‍රහාරයක් එල්ල කරමින් පිරිසක් ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියේ දේශබන්දු තෙන්නකෝන් ද සැකකරුවකු ලෙස නම් කරන ලෙසට නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබා දී තිබිණි. දේශබන්දු තෙන්නකෝන් ඊට එරෙහිව අභියාචනාධිකරණයට යොමු කරන ලද පෙත්සමක ප්‍රතිඵලයක් ලෙස එම විමර්ශන නතර වුවද නීතිපතිවරයා විසින් මේ වන විට එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කර තිබේ. එය ලබන 25 වැවිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවීමට නියමිතය.

එසේම වෙහෙරගෙදර රංජිත් සුමංගල නම් පුද්ගලයකුට නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, නීති විරෝධීව රඳවා තබා ගනිමින්, කෘර අමානුෂික සහ අවමන් සහගත ලෙස සැලකීම නිසා දේශබන්දු තෙන්නකෝන් මූලික අයිතිවාසිකම් කඩ කළ පුද්ගලයකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය SC FR 107/2011 දරණ මූලික අයිතිවාසිමක් නඩුවේදී තීන්දු කර තිබේ. දේශබන්දු තෙන්නකෝන් වධකාගාරයට ගොස් සැකකරුවන් නිරුවත් කරන ලෙස නියෝග කර සැකකරුවන්ගේ ලිංගේන්ද්‍රයේ සිද්ධාලේප ආලේප කරන ලෙසට නියෝග කළ බව ද තීන්දුවේ සඳහන් වේ. මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවකින් වැරදිකරු වූ සහ මෙවැනි විකෘත්ති ලිංගික ආශාවල් සහිත පුද්ගලයකු ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පති ලෙස පත් කිරීමට ව්‍යවස්ථා සභාව අනුමැතිය දීම බරපතල ගැටලු‍වක් ලෙස මම විශ්වාස කරමි.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට ප්‍රථම ඔහුට එරෙහිව ඇති නඩු සම්බන්ධයෙන් පොලිස් නීති කොට්ඨාසය භාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකරගෙන් වාර්තාවක් කැඳවීනම් ඔහුට එරෙහිව මේ වන විටත් ඇති නඩු 40කට ආසන්න ප්‍රමාණයක තොරතුරු ලබා ගත හැකිවීමට ඉඩතිබිණි. තෙන්නකෝන්ගේ පත්වීම අනුමත කිරීමට පෙර ව්‍යවස්ථාදායක සභාව එවැනි සරල වාර්තා කැඳවීමක් හෝ සිදු කර නැති බවට මම විශ්වාස කරමි.

ජනාධිපතිවරා විසින් පොලිස්පතිවරයා ලෙස තමා කැමති කෙනකු පත් කිරීමට තිබූ බලය ඉවත් කරමින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ලබාදීමේ අරමුණම එම තනතුර සඳහා සුදුස්සකු දේශපාලන මැදිහත්වීම්වලින් තොරව පත් කිරීමට දරණ උත්සාහයක් වුවද ව්‍යවස්ථා සභාව කටයුතු කර ඇති ආකාරය අනුව ව්‍යවස්ථා සභාවකින් බලාපොරොත්තු වන මූලික කාරණය පවා ඉෂ්ඨ නොවීම බරපතල තත්ත්වයකි.

ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වය අනුව සිටින තෙවැනියා මෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතුරෙන් වැඩිම චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීම සඳහා කොමිසම අනුමත කල ආකාරය ගැන ද බරපතල ගැටලු‍වක් ඇතිකර තිබේ. ජනමාධ්‍ය වාර්තා කර ඇති පරිදි තෙන්නකෝන්ගේ පත්කිරීම සඳහා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් දෙදෙනකු විරුද්ධව ඡන්දය භාවිත කර ඇති අතර සිව් දෙනකු පක්ෂව ඡන්දය භාවිත කර තිබේ.

දෙදෙනකු පැමිණ සිට නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41.ඉ.4 ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථා සභාව සෑම නිර්දේශයක්, අනුමත කිරීමක් හෝ තීරණයක් ඒකමතිකව ගැනීමට සෑමවිටම උත්සාහ දැරිය යුතුය. එසේ කිරීමට නොහැකි අවස්ථාවලදී තීරණයක් සම්මත කර ගත යුත්තේ පැමිණ සිටින සාමාජිකයන් පස් දෙනකුට නොඅඩු සංඛ්‍යාවක් සනාථ කළෙහොත් පමණි. ජනමාධ්‍ය වාර්තා අනුව දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම සඳහා ලැබී ඇත්තේ ඡන්ද 4ක් වන අතර එය අනුමත වීමට නම් ව්‍යවස්ථානුකූලව ඡන්ද 5ක් ලැබිය යුතුය. එසේ හෙයින් ඔහු පත් කළ ආකාරය ද ව්‍යවස්ථා විරෝධී වේ.

ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනද උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා පොලිසියේ සිටින වැඩිම චෝදනා ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පති ධුරයට පත් කිරීම සඳහා ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම සදාචාර විරෝධීද වන අතර ව්‍යවස්ථා සභාවේ මෙම අත්තනෝමතික හැසිරීම ගැන කණගාටු වන අතර ඊට විරෝධයද පළ කරනු කැමැත්තෙමි.
මාගේ ලිපියේ සඳහන් කරුණු සනාථ කිරීමට අදාල සියලු ලේඛන මේ සමග ඇත.

ස්තුතියි.
තරිඳු ජයවර්ධන
සංස්කාරක
MediaLK.com