මහබැංකු නිලධාරින්ගේ වැටුප් වැඩිවීම ගැන සමාජයේ ආන්දෝලනයක් ඇතිව තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ගැන දැන ගැනීමට අවශ්‍ය බවත් මෙවැනි අත්තනෝමතික තීන්දු තීරණ ගත නොහැකි ලෙස මහබැංකු පනතට සංශෝධන ඉදිරිපත් කිරිමට රජය කටයුතු කරන්නේද කියා ද දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (6) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ මහබැංකුවේ වැටුප් වැඩි වීම ගැන ප්‍රශ්න කරමිනි.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්නේ කවදාද?

පසුගිය කාලයේ රාජ්‍ය සේවයේ විශේෂඥයන් සහ වෘත්තිකයන් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීම් කළත් අද වන විට එම සහනය යම් පමණකින් ලැබුණේ වෛද්‍යවරුන්ට සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පමණක් බවත් රාජ්‍ය සේවයේ සිටින වෘත්තීය වගකීම් දරණ සිය රාජකාරීවල විශේෂඥතාවක් දරණ වෘත්තීන්ට සහ අනෙකුත් රාජ්‍ය සේවයකයන්ට වැටුප් වැඩි කරන්නේ කවදාද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය සේවකයන් 20000ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටියත් එය ඉටු කිරිමට නොහැකි තත්ත්වයක් උඩ මහබැංකු නිලධාරීන්ට මේ ආකාරයට වැටුප් දීමනා වැඩි කිරිමට ඉඩ ලබා දිමේ පුර්වාදර්ශය තුළ සමස්ත රජයේ නිලධාරීන්ට විසදුමක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රට බංකොලොත් කිරීමට හේතු වූ මහබැංකුවේ ලොක්කොන්ගෙත් වැටුප් වැඩි කළාද?

රට ආර්ථික වශයෙන් බංකොලොත්වීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ දී මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සිටි පුද්ගලයන් ඒ සඳහා සෘජුවම වගකිව යුතු බවට හදුනා ගෙන තිබියදීත් බංකොලොත්භාවයෙන් මිදීමට වෙර දරන රටක ප්‍රධාන මූල්‍ය නියාමන ආයතනය තම වැටුප් වැඩි කිරිම සඳහා සදාචාරාත්මක අයිතියක් ඇත්ද කියා ප්‍රශ්න කර සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට බංකොලොත් කිරීමට හේතු වූ අජිත් නිවාඩ් කබ්රාල් හා ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්ටත් මෙම වැටුප් වැඩි වන්නේද කියා ගැටලු සහගත බවයි.

රජය මේ ගැන මොකද කියන්නේ?

මෙසේ වැටුප් වැඩි වීමට හේතුව උද්ධමනය හා බුද්ධිගලනය යැයි සඳහන් හෙයින් බුද්ධිගලනය වළක්වා ගැනීමට ඇති එකම ක්‍රමවේදය ලෙස මෙම ක්‍රමය රජය හඳුනා ගෙන ඇති බව මින් පෙනී යන බවත් මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයේ ස්ථිවරය දැනගැනීමට අවශ්‍ය බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාව දැඩි පීඩනයට ලක්ව ඇති මොහොතක රාජ්‍ය සේවයේ කප්පාදු රැසක් සිදු කර ඇති මොහොතක මෙවැනි සිදුවීම් වැළැක්වීමට රජයට වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරාටේ නීතිය නවත්වන්න බෑ. ඒ වුනාට වැටුප් නම් වැඩි කර ගන්නවා

පරාටේ නීතිය අත්හිටුවූ බවට රජය කිව්වත් වානිජ බැංකු සියල්ල තරගයට වෙන්දේසි කිරීම් සිදු කරන මොහොතක මහබැංකුවේ පාලනාධිකාරය සියයට 70ක වැටුප් දීමනා වර්ධනය කර ගෙන ඇති බවත් මෙම වැඩිවීම ආපහු හරවන්නට රජය මැදිහත්විය යුතු බවත් මහබැංකු අධිපතිවරයා පත් කළේ රට බංකොලොත් කළ ආණ්ඩුව නිසා රජය මේ ගැන පියවර ගත යුතු බවත් අනෙකුත් රාජ්‍ය ආයතනවල සාමූහික ගිවිසුම් අනුමත නොකිරීමට මහා භාණ්ඩාගාරය තීන්දු කර ඇති මොහොතක මේ වැටුප් වැඩි වීම සාධාරණීකරණය කර ඇත්තේ සාමූහික ගිවිසුම පෙරටු කර ගෙන වුවත් එම සාමූහික ගිවිසුම නිත්‍යානුකූල නොවන බවත් මෙහි සදාචාර සම්පන්න භාවයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහබැංකුවේ හැසිරීම සදාචාර සම්පන්න නැහැ

මෙවැනි දෙබිඩි ප්‍රතිපත්තියක් අනුමත කළ නොහැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා මැතිවරණ කොමිසමට වැටුප් වැඩි කර ගැනීමට බලතල ලබා දුන්නත් ඔවුන් එම සිමාව උල්ලංඝනය කර නොමැති බවත් මැතිවරණ කොමිසම ඒ ආකාරයෙන් හැසිරෙන විට මහබැංකුව හා එහි පාලනාධිකාරය එසේ හැසිරීම සදාචාරසම්පන්න නොවන බවත් මහබැංකුව ස්වාධින කිරීමේ පනත් ගෙන ආවේ දේශපාලන ඇගිලි ගැසීම් නතර කිරිමට වුවත් ඔවුන් තමන්ට ලැබුණු ස්වාධිනත්වය උපයෝගී කර ගෙන බංකොලොත් රටේත් ඔවුන්ගේ වැටුප් වැඩි කර ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.