පක්ෂයක මැතිවරණ අපේක්ෂකයකු මැතිවරණයට ඉදිරිපත්වන පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලැබූ පසු පක්ෂ මාරුකිරීම තුලින් මන්ත්‍රීධුරය පවා ඉවත් කල හැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99/13/A ව්‍යවස්ථාව හරහා බලතල දී තිබෙන නමුත් එවන් සිදුවීමක් පිලිබඳව මෑත දේශපාලන ඉතිහාසය තුල වාර්තා වී නොමැති අතර පසුගිය සිකුරාදා දින පැවති ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවකින් එබදු නඩු තීන්දුවක් වාර්තා විය.

ඒ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතාට විරුද්ධව එම පක්ෂයෙන් ගොනුකර තිබූ නඩුවකට අනුවයි. එම නඩුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා ප්‍රකාශ කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිකුත් කල දිනයේ සිටම නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රීධූරය අහෝසි වන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ දුන් මෙම නඩු තීන්දුවේදී අවධාරණය වන්නේ මූලිකවම මැතිවරණයකින් ජනතාව ඡන්දය ලබාදෙන්නේ මන්ත්‍රීවරයා තරගවදින පක්ෂයේ හෝ සංවිධානයේ ප්‍රතිපත්ති වලට බවත් යම් පක්ෂයකින් මැතිවරණයට සහබාගී වී මන්ත්‍රී ධූරයක් ලබාගෙන පෞද්ගලික වාසි තකා පක්ෂය මාරු කිරීම සධචාරාත්මක නොමැති බවත් එම මන්ත්‍රීවරයාට එරෙහිව කටයුතු කිරීමේ බලය පක්ෂයට තිබෙන බවත්ය.

1993 වසරේදීත් මෙවැනිම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි යන මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහෝසි වී තිබෙන අතර එම සිදුවීමට මූලික වී තිබුනේ ජනාධිපති ප්‍රේමදාස මහතාට එරෙහිව එවකට විපක්ෂයෙන් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ සිට සහය දාක්විමක් මූලික කරගනිමින් බවයි සදහන් වන්නේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ සුමන්තිරන් මහතා කියා සිටියේ මෙම නඩු තීන්දුව ලංකා ඉතිහාසයේ වැදගත් නඩු තීන්දුවක් බවත් ඉදිරියේදී මේ පිළිබඳව ගොනුකර ඇති නඩු කිහිපයකම නඩු තීන්දු පැමිණීමට නියමිතව තිබෙන බවත්ය.

මේ පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ එම නදුතින්දුව ඉතාමත් වැදගත් නඩු තීන්දුවක් බවත් තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට පිටුපා ඡන්දය දුන්න මිනිස්සුන්ට පිටුපා තාවකාලික වරදාන වරප්‍රසාද වෙනුවෙන් පක්ෂ මාරු කරන මන්ත්‍රී වරුන්ට එරෙහිව දුන් ඓතිහාසික තීන්දුවක් බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඩයනා ගමගේ, හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, මොහොමඩ් ෆවුසි යන මන්ත්රිවරු ගත තීන්දු තීරණ නිසා මේ වන විට පක්ෂ සාමජික්ලත්වයෙන් ඉවත් කර ඇති බවත් ඔවුන්ට එරෙහිවත් ඉදිරියේදී නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් ඔවුන්ට මේ වන විට හීන් දාඩිය දමා ඇති බවත්ය.

 

මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු අද උදැසන ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා රූපවාහිනී වැඩසටහනකට සහබාගී වෙමින් පැවසීය.