ආණ්ඩුව විදුලි බිල වැඩි කරන අවස්ථාවේ එය සාධාරණද දැයි සොයා බලා අනුමැතිය ලබාදෙන්න මහජන උපයෝගිතා කොමිසන් සභාව තිබෙන බවත් ඔවුන් මහජනතාවගේ පැත්තේ සිටගත යුතු බවත් නමුත් ඔවුන් සිටින්නේ මහජනතාවගේ පැත්තේ නොවන බවත් සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

අවුරුද්දකට දෙවතාවක් විදුලිබිල සංශෝධනය කරන බවට කැබිනට් අනුමැතියක් ලබාදී තිබියදී මහජන උපයෝගිතා කොමිසන් සභාව විදුලි බිල වැඩි කරන්න අවසර දුන්නේ කෙසේද යන්න පිළිබඳව ගැටලුවක් ඇති බවත් මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.

මහජන උපයෝගිතා කොමිසන් සභාව කියන්නේ ආණ්ඩුවේ උවමනා සඳහා කටයුතු කරන රූකඩයක් බවත් මෙවැනි කොමිසන් සභා අහෝසි කිරීමෙන් රටේ මුදල් ඉතුරු කර ගත හැකි බවත් මහජන උපයෝගිතා කොමිසන් සභාව අහෝසි කර දැමිය යුතු බවත් මුජිබර් රහුමාන් මහතා කීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (02) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

විදුලි බිල

වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා මෙසේ පැවැසීය.

‘‘රජය විදුලිබිල සියයට 18 කින් වැඩි කිරීම හේතුවෙන් රට පුරා උද්ඝෝෂණ ආරම්භ වී තිබෙනවා. ආණ්ඩුව ඕනෑම දෙයක් වැඩි කරන්න පුලුවන් තීන්දු තීරණ ගන්න පුලුවන් ආණ්ඩුවට ආදායම මදියි කියලා ජනතාවට බදු පිට බදු ගහන්න පුලුවන්. ඒ හරහා ජනතාව පත්වී සිටින පීඩනය උද්ඝෝෂණ වලින් එළියට ගේන්න හදනකොට ආණ්ඩුව ඒ උද්ඝෝෂණ මඩින්න පොලිසිය යොදවලා තිබෙනවා. මෙය ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවක්.

බදු වැඩිවීම් හරහා බිල්පත් වැඩිවීම් හරහා රටේ ජනතාව අත්විදින ආර්ථික පීඩනය පිළිබඳ ආණ්ඩුවට කියන්න පාරට බහින ජනතාවට ආණ්ඩුව සිදුකරන්නේ පොලිසිය යොදවලා අත්අඩංගුවට අරගෙන උද්ඝෝෂණ මර්දනය කරන එක. ආණ්ඩුවට අසාධාරණ ලෙස විදුලිබිල වැඩි කරන්න පුලුවන් , බදු ගෙවන්නේ නැති පිරිසගෙන් බදු අය කර ගන්නේ නැතුව ඉන්න පුලුවන් , කල් ඉකුත් වූ බෙහෙත් විකුණන්න පුලුවන්. මේ කාරණ වලට විරුද්ධව තමයි ජනතාව උද්ඝෝෂණය කරන්නේ.

වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව ඔවුන්ට සිතැගි පරිදි අසාමාන්‍ය ලෙස රටේ භාණ්ඩවල , අත්‍යාවශ්‍ය සේවා වල මිල වැඩි කරනකොට ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කරන්නේ නැතුව වෙන මොනවා කරන්නද, ආර්ථික පීඩනය දරා ගන්න බැරුව පාරට බැහැලා උද්ඝෝෂණය කරන ජනතාව අත්අඩංගුවට ගන්නේ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්නවා වගේ. වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටපත් කරන්න උත්සහ ගනිමින් සිටිනවා.

අවුරුද්දකට දෙවතාවක් විදුලිබිල සංශෝධනය කරන බවට කැබිනට් අනුමැතිය අරගෙන පසුගිය සතියේ නැවත වතාවක් විදුලිබිල සංශෝධනය කළා. විදුලි බිල වැඩි කිරීම පිළිබඳව මහජන අදහස් විමසන්න මහජන උපයෝගිතා කොමිසන් සභාව මහජනතාව කැඳවලා තිබුණා. එහිදි ජනතාව , විදුලි ඉන්ජිනේවරු කියනවා විදුලි බිල වැඩි කරන්න එපා කියලා. එසේ තිබියදී මහජන උපයෝගිතා කොමිසන් සභාව විදුලි බිල තුන්වැනි වතාවටත් විදුලි බිල සංශෝධනය කරන්න අවසර දුන්නා. පසුව ආණ්ඩුව නැවත කැබිනට් පත්‍රිකාවක් දාලා අවුරුද්දකට තුන් පාරක් විදුලි බිල සංශෝධනය කරන්න පුලුවන් කියලා අනුමැතිය ගත්තා. මහජන උපයෝගිතා කොමිසන් සභාව ගැනත් දැන් ප්‍රශ්නයක් තිබෙනවා. ආණ්ඩුව විදුලි බිල වැඩි කරන අවස්ථාවේ එය සාධාරණද කියලා බලලා අනුමැතිය දෙන්න තමයි මහජන උපයෝගිතා කොමිසන් සභාව තියෙන්නේ. ඔවුන් මහජනතාවගේ පැත්තේ සිටගෙනයි තීන්දු ගන්න ඕන. නමුත් ඔවුන් තීන්දු ගන්නේ මහජනතාවගේ පැත්තේ ඉදන් නෙවෙයි. කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ දෙවතාවක් විදුලිබිල සංශෝධනය කරන්න පුලුවන් කියලා. එසේ තිබියදී කොහොමද මහජන උපයෝගිතා කොමිසන් සභාව විදුලි බිල වැඩි කරන්න අවසර දුන්නේ. මහජන උපයෝගිතා කොමිසන් සභාව කියන්නේ ආණ්ඩුවේ උවමනා සඳහා කටයුතු කරන රූකඩයක්.

මහජන උපයෝගිතා කොමිසන් සභාවලට කලින් ඇමැතිවරයාට අවශ්‍යනම් විදුලි බිල වැඩිකරන්න කැබිනට් මණ්ඩලයට ඕන නම් විදුලි බිල වැඩි කරන්න බලය ලබාදීලා තිබුණේ. එවැනි තත්ත්වක් තිබියදී මෙවැනි කොමිසන් සභා නඩත්තු කරන්නේ මොකටද?.
විශාල මුදලක් මහජන උපයෝගිතා කොමිසන් සභාව නඩත්තු කරන්න වියදම් කරනවා. මෙවැනි කොමිසන් සභා අහෝසි කිරීමෙන් රටේ ජනතාවගේ මුදල් ටික හරි ඉතුරු කර ගන්න පුලුවන්. මහජන උපයෝගිතා කොමිසන් සභාවෙන් මහජනතාවට සෙතක් වෙන්නේ නෑ. මේ කොමිසන් සභා මහජනතාවට බරක්.
මහජන උපයෝගිතා කොමිසන් සභාව නඩත්තු කරන්න ඕන මුදලුත් රටේ ජනතාවගේ විදුලි බිලට එකතු වෙලා ඒ මුදලත් මහජනතාව ගෙවන්න ඕන. විදුලි බල මණ්ඩලය කියන කියන ආකාරයට විදුලි බිල වැඩිකරන්න අවසර දෙන්න මහජන උපයෝගිතා කොමිසන් සභාවක් වැඩක් නෑ.

2022 අගෝස්තු මාසයට කලින් යුනිට් 1 සිට 30 දක්වා වියදම රුපියල් 2.50 යි. ස්ථාවර ගාස්තු රුපියල් 30යි. 2023 ඔක්තෝම්බර් මාසයේ යුනිට් 1 සිට 30 දක්වා වියදම රුපියල් 12.00 ක් ගෙවනවා. ස්ථාවර ගාස්තුව 180 ක් බවට පත්වෙලා තිබෙනවා. 2022 අගෝස්තු මාසයට කලින් යුනිට් 31 සිට 60 දක්වා වියදම රුපියල් 4.85 යි. ස්ථාවර ගාස්තු රුපියල් 60යි. 2023 ඔක්තෝම්බර් මාසයේ යුනිට් 31 සිට 60 දක්වා වියදම රුපියල් 30.00 ක් ගෙවනවා. ස්ථාවර ගාස්තුව 360 ක් බවට පත්වෙලා තිබෙනවා. මේ අකාරයට බලන විට විදුලි ගාස්තුව සියයට 600 කින් වැඩි කරලා තිබෙනවා.

මේ අතර ආණ්ඩුව සියයට 18 ක වැට් බද්ද අත්‍යාවශ්‍ය භාණ්ඩවලටත් පනවන්න උත්සහ කරනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩවට වැට් බද්ද පැනවීමෙන් රටේ ආදායම් පරතරය අසීමිත ලෙස ඉහළ යන්න පුලුවන්. ලෝක බැංකු වාර්තා අනුව 2019 ලංකාවේ දුප්පත්කම තිබුණේ සියයට 11.3 යි. 2022 දී දුප්පත්කම සියයට 25 දක්වා ඉහළ ගිහින්. රටේ ජනගහනයෙන් සියයට 25 ක්
දුප්පත් කමෙන් පෙලෙනවා. දවසකට රුපියල් 1100 ක වඩා අඩුවෙන් ආදායම තිබෙන පිරිස දුප්පත් පිරිස ලෙස ලෝක බැංකු හදුන්වනවා. දවසකට රුපියල් 1100 ක වඩා අඩුවෙන් ආදායම් බලන ප්‍රමාණය රටේ සියයට 25 ක් ඉන්නවා .


ප්‍රශ්නය – රටේ උද්ඝෝෂණ ඉදිරි කාලයේදී භායානත තත්ත්වයට හැරෙන්න ඉඩ තියෙනවා නේද

පිළිතුර – ඔව් භායනක තත්ත්වයට හැරෙන්න ඉඩ තිබෙනවා. ජනමතයක් නැති පාලකයෝ බලහත්කාරයෙන් තමයි පාලන බලයේ රැඳිලා ඉන්නේ. බලයේ ඉන්න ඔවුන්ට ජනතා සහය නෑ කියලා ඔවුන් දන්නවා. ඔවුන් ඒක තමා පොඩි උද්ඝෝෂණවලටත් පොලිසිය හමුදාව දාලා මර්දනය කරන්න හදන්නේ. මේ තියෙන්නේ වික්‍රමසිංහ රාජපක්ෂ ජුන්ටාවක්. ජනතාවගේ හද ගැස්ම තේරුම් ගන්න බැරිනම් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ සන්වේදී වෙන්න බැරිනම් මොකක්ද ඒ පාලනය. රටේ ආර්ථික අර්බුදය වෙනුවෙන් ආණ්ඩුවේ මැති ඇමැතිවරු කිසිම කැපකිරීමක් කරලා නෑ.

මත්පැන් සමාගම් 9 ක් 2019 සිට 2022 දක්වා කෝටි 600 කට වැඩි මුදලක් බදු ලෙස ගෙවන්න තියෙනවා. ඒ බදු මුදල් අය කරගන්න ක්‍රමවේදයක් නෑ. සීනි බදු වංචාවෙන් රුපියල් මිලියන 15,000 ක වංචාවක් සිදුවුණා. ඒවා අයකරන්න වැඩපිළිවෙලක් නෑ. අසුචි පොහොර ගෙනල්ලා ඩොලර් මිලියන 6.9 ක් පොහොර දකින් නැතුව ගෙව්වා. ඒ සල්ලි අයකර ගත්තේ නෑ. තෙල් ප්‍රමාද ගාස්තු ලෙස කෝටි ගණන් මුදල් ගෙව්වා. ඒවා අයකරගත්තේ නෑ. මේ කබාසිනියා කරලා තියෙන්නේ රටේ ජනතාවගේ මුදල්.