ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යම් යම් අවස්ථාවල පරිපාලනමය වශයෙන් ගනු ලබන තීරණ නිසා පසුබැසීම අමුත්තක් නොවේ. එහිදි කල්ලිවාදය විවිධ විදිහට පැතිර යාම නිසා යම් යම් පක්ෂග්‍රාහී තේරිම් සිදු වීම සහ අසාධාරණ ආකාරයට දක්ෂයන් කප්පාදුව සිදු වේ. ඊට 90 දශකයේ අලුතින්ම නව්‍යකරණය වීමේ උත්සාහයෙන් එකතු කළ ෆිට්නස් ටෙස්ට් සංකල්පය ලත් තැනම ලොප් විය. ඊට හේතු වූයේ අදටත් ඇතැමෙක්ගේ නිර්වචනයට අනුව ශ්‍රී ලංකාවේ පහළ වූ සුපිරිතම පිතිකරුවා හැටියට ගැනෙන අරවින්ද ද සිල්වාට එම පරීක්ෂණය නිසා කණ්ඩායමේ ස්ථානය අහිමි වීමයි.

එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ එක්තරා විශේෂ සංධිස්ථානයක් විය. අර්ජුන රණතුංග අරවින්ද නොමැති කණ්ඩායම ප්‍රතික්ෂේප කළේය. නායකත්වයෙන් ඉල්ලා අස් විය. ඒ සමඟම කණ්ඩායමක්ම ඒ මඟ ගියේය. රොෂාන් මහානාම නායකත්වය ගෙන නවක කණ්ඩායමක් රැගෙන ගියේය. එහි සාමාජිකයෙක් වීම පාදක කරගෙන අසංක ගුරුසිංහගේ නිවසට ගල්මුල් එල්ල විය. ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි නන්ද මැතිව් පසුව පසු බැස්සේය. යළිත් අර්ජුන මෙන්ම අරවින්ද ද කණ්ඩායමට කැදවීය. ඒ ගැන සෘජුව කතා නොකර ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන කියන්නේ ඔහු දුටු හොඳම නායකයා රොෂාන් මහානාම බවය. එහෙත් රොෂාන්ට ජාතික කණ්ඩායම වෙනුවෙන් ඒ අවස්ථාව නොලැබුණේය. නමුත් අර්ජුන ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා දුන්නේය. ඊට පාර කැපෙන්නේ අරවින්ද ගේ ෆිට්නස් ටෙස්ට් එකේ සිටය.

අද යළිත් ෆිට්නස් ටෙස්ට් පැමිණ ඇත. එහි වැදගත්ම දේ එදා ෆිට්නස් ටෙස්ට් ප්‍රශ්නය නිසා කණ්ඩායමෙන් එළියට වීසී වූ අරවින්ද ද සිල්වා තාක්ෂණ කමිටුවේ නායකයාව සිටීමය. කණ්ඩායම තේරීම පැවරී ඇති ප්‍රමෝදය වික්‍රමසිංහද එදා අරවින්දට පක්ෂව අර්ජුන සමඟ කණ්ඩායමෙන් ඉවතට ගිය කෙනෙක්ය. මේ සියලු ප්‍රශ්ණ පැන නගිද්දී එදා නන්ද මැතිව් මෙන් පසුබැස යන්නට නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා සූදානම් නැත. ඒ ගැන ඔහුගේ අදහස ක්‍රිකට් ආයතනයේ ස්වාධිනත්වය වෙනුවෙන් අත පෙවීමට ඔහුට ඇති අකමැත්තය. නමුත් මේ ෆිට්නස් කතාව ක්‍රියාත්මක වෙන්නේම ෆිට්නස් යන සංකල්පයම පමණක් නොසෑහෙන බව සහ ඒ සිමාවන්වලට යටත් කළ නොහැකි දස්කම් තිබෙන බවට ඔප්පු කළ ඉතිහාසයකට අයත් සහ එය විශ්වාස කළ පිරිසක් යටතේ වීම ඛේදවාචකයක්ය.

ශාරිරික යෝග්‍යතාවය යන්න අනවශ්‍යය දෙයක් නොවුණ ද, එය පුද්ගල විශේෂත්ව මත වෙනස් විය හැකි දෙයකි. නමුත් එය ඉතිහාසයේ සාකච්ඡාවට ගැනීමට පදනම සකස් කළ පුද්ගලයෝම අද ක්‍රීඩා අමාත්‍යවරයාගේ තේරීමෙන් ඉහළ පුටුමත සිට ඊට විරුද්ධ අදහස් දැක්වීම් සහ තීරණ ගැනීම් කරති. ගැටළුව එදාට වඩා මොවුන් වෙනස් වී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආධාරය සහ අනුබලය නිසා ද යන්නය.

කුසල් මෙණ්ඩිස්,නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ප්‍රශ්නයේදී එයට පාදක වූ කරුණට වඩා දරුණු බිල්ලෙක් මැවූ රැල්ලට ක්‍රිකට් යටත් විය.දඬුවම වඩා දරුණු කරන්නට ක්‍රීඩකයෝම ඉදිරිපත් වූහ.නාමල් රාජපක්ෂ අඟළට තලන්නට යෝජනා කරද්දී ඔහුගේ ආරාධනයෙන් පරිපාලන වගකීම්වල ගෞරවය පවරාගත් මුරලිදරන් වැන්නෝ එය අඩියට තැලිය යුතු බව කීවේ ලංකාවේ දුර්වල දේශපාලන අනුගාමිකයා නායකයා තෘප්තිමත් කරන්නට කරන මෝඩකම ප්‍රදර්ශනය කරමින්ය. ඒ සෑම විටම නාමල් රාජපක්ෂ ඒවා අනුමත කරමින් කියා සිටියේ ඒවා ක්‍රිකට් පරිපාලනයේ ස්වාධින තීරණ බවය. ඒ ස්වාධිනත්වය අමාත්‍යවරයා ආරක්ෂා කර ගනිමින් ජෙරම් ජයරත්න තනතුරු ආවරණ වැටුපක් ලබා ගෙන එම ආවරණයෙන් පසුව සිය වැටුපට ඈදා ගැනීම පවා සොයන්නට ගියේ නැත.

නමුත් කුසල් මෙණ්ඩිස්ලාගේ තහනම මේ වන විට පැනවූ කාලයට මෙපිටින් හමාර කර ඇත. යළිත් බිල්ලෙක් මැවූ අය කළබලයට පත්වෙද්දී ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ යහපත් කල්ක්‍රියාව එහිදී සළකා බලා ඇති බවය. යළි වරදක් වුවහොත් ජීවිතාන්තය දක්වා තහනම් කිරීමට වුව තම් පසුබට නොවන බවය. ඒ ක්‍රීඩා අමාත්‍යවරයා ඇත්තටම ස්වාධීන ද යන්න ගැන සැක පහළ වූ එක් අවස්ථාවක්ය. එසේම භානුක රාජපක්ෂගේ සමුගැනීමට පදනම් වන්නේ වෙනස් කරන ලද ෆිට්නස් ටෙස්ට් එකේ දත්ත බව ප්‍රසිද්ධ වෙද්දී ක්‍රීඩා අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වමින් භානුකට නැවත හිතා බලන්නට කියන්නේය. නමුත් ස්වාධීනව කටයුතු කරන ක්‍රිකට් ආයතනය භානුකව පසෙකින් තබා අවසන් තේරීම ද කර ඇත. එපමණක් නොව ජාත්‍යන්තරයට යාමට භානුකට අවස්ථාව ඇහිරෙන විදිහට නව නීති ද තහවුරු කරගෙන ඇත.

භානුකට නැවත සළකා බලන්න කියන්නට සිදුවන්නේ ඔහු දක්ෂයෙක් බව පෙන්නා අවසන් කර ඇති නිසාය. එහෙත් ඔහු දක්ෂතා දක්වන්නට කණ්ඩායමට එක් වූයේ ද ඒ හා සමානම ආන්දෝලනාත්මක ප්‍රකාශ හරහා කළ අරගලයකින් පසුවය. ඒ වගේම ශාරිරික යෝගයතාවය සඳහා පැන වූ සීමාවන් දක්වා පැමිණීමෙන් ද පසුවය. යළිත් එය වෙනස් කරමින් ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ දක්ෂයන් රැක ගැනීමේ වැඩ පිළිවෙලකට එහා ගිය ශාරිරික හැඩය ගැන උවමනාවක්ය. එහිදී දක්ෂයන් ගැලවිය හැකිය යන අවදානම ක්‍රීඩා අමාත්‍යවරයාට අදාළ නොවන්නේ ක්‍රිකට් හී ස්වාධීනත්වයට ඔහුට යම් යම් අවස්ථාවලදී දක්වන්නට හිතෙන ගෞරවය නිසා විය යුතුය.

කෙසේ හෝ මේ වන විට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉල්ලීම් කළ ද භානුකගේ ක්‍රිකට් ජීවිතය ක්‍රිකට් ආයතනයට අදාළ නොවන බව පැහැදිළි කරගෙන අවසන්ය. රාජපක්ෂ ලෙස ඇගයීමට ලක් වූ නාමල් රාජපක්ෂ පවුලේ රාජපක්ෂ ලේඛණයට අමතරව වඩා ජනප්‍රිය රාජපක්ෂ කෙනෙක් මෑතක මතු වුණේනම් ඒ භානුක රාජපක්ෂය. ඔහුට රටට පමණක් නොව ඔහුගේ දක්ෂතා තේරුම් කරගෙන සළකන ලෝකයටම යන්නට නොහැකි වන්නට ඇණ ගසන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානම්ව ඇත. භානුක ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස උපයා ගත් ආකාරයද, එමෙන්ම උපතේ සිට තිබූ පවුලේ ආර්ථිකය අනුව වර්තමානයේ ජීවත්වෙන ආකාරයද ප්‍රශ්ණ කිරීම් හෝ සැකකිරීම්වලට බඳුන් නොවුණු රාජපක්ෂවරයෙක්ය. ක්‍රීඩා අමාත්‍යවරයා ස්වාධීනව කටයුතු කරන නිසා ඒ කිසිවක් ක්‍රිකට් ආයතනයට දන්වන්නට ක්‍රීඩා අමාත්‍යවරයා සූදානම් නැත.

උදාහරණයකට ඇතැම් දක්ෂයන්ට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්නට සුදුසුකම් ඇතත් පනවා තිබෙන ශාරිරික යෝග්‍යතාවය තහවුරු කරන්නට නොහැකිය. ඊට ජාතික කණ්ඩායමකින් මෑතකදී ගත හැකි හොඳම උදාහරණය කොදෙව් ක්‍රීඩක රකීම් ක්‍රොන්වේල්ය. ඉතිහාසයට ගොස් බලද්දි දුලිප් මෙණ්ඩිස්, අර්ජුන රණතුංග සහ අරවින්ද සිල්වාගේ සිටම තත්ත්වය එබඳුය. අරවින්ද මේ තරම් බරපතල බලපෑමක් නොවන තැනකදී එකල පැන වූ යෝග්‍යතා පරීක්ෂණය අසමත්වන්නේය. එහෙත් ඔහු අදක්ෂයෙක් නොව ශ්‍රී ලංකාව බිහි කළ සුපිරිතම පිතිකරුවෙක්ය. ඒ නිසා ක්‍රිකට් වෙනුවෙන් තීරණ ගන්නේනම් අංක එක ශාරිරික යෝග්‍යතාවය විය යුතු නැත. එය අත්‍යවශ්‍යය සාධකයක් වුව අංක එකේ අත්‍යවශ්‍යය සාධකය ජාත්‍යන්තරයට අභියෝග කළ හැකි දක්ෂතාවයක්ය. නමුත් එය දෙවැනි වූ විට සිදු විය හැක්කේ සරල භාෂාවෙන් කියැවෙන්නේනම් ක්‍රීඩා දක්ෂයන්ට වඩා ෆිට් කොල්ලන් ටිකක් ක්‍රිකට් ගැසීමය. සමහර විට එවැනි හිතූ හිතූ විට ක්‍රිකට් ද, රගර් ද ගසන්නට හැකි අවශ්‍යයනම් ගයන්න මෙන්ම අහසේ සරන්නට ද හැකි පවුල්වල ෆිට් කොල්ලන්ට ජාතික කණ්ඩායම නියෝජනය දක්වා එන්නටද මේ යෝග්‍යතා පරීක්ෂණ යෝග්‍ය විය හැකිය. එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයා කිසිවක් නොකරනු ඇත. මන්ද ක්‍රිකට් ආයතනය ස්වාධීන ආයතනයකි.


සුගන්ධ රණසිංහ