මෙරට ක්‍රිකට් ක්‍රිඩාව සම්බන්ධයෙන් මේ වන විට අර්බුධකාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර ඒ සඳහා මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලය සෘජුවම දායක වී ඇති බවට පෙනෙන්නට තිබෙන බවත් පසුගිය කාලයේ වාර්තා වූ විවිධ දූෂණ අක්‍රමිකතා සම්බන්ධ චෝදනා, විගණකාධිපති වාර්තාවෙන් මතුවූ කරුණු අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දරුණු පසුබෑමකට වගකිවයුතු බව පැහැදිලි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝක කුසලාන තරගාවලිය අතරතුර ක්‍රිකට් පරිපාලනයට අමාත්‍යවරයා විසින් අතුරු කමිටුවක් පත් කිරීමත් අමාත්‍යවරයාගේ තීරණය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා කැබිනට් අනු කමිටුවක් පත් කිරීමත් අභියාචනාධිකරණය විසින් අතුරු පාලක මණ්ඩලයේ කටයුතු බල රහිත කර නැවත පෙර තිබූ ක්‍රිකට් පාලක මණඩලය බලාත්මක කිරීම නිසා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය සම්බන්ධයේන් ඇතිව ඇති අර්බුධය තෘව්‍රර වී ඇති බවත් ආණ්ඩු විපක්ෂ භේදයෙන් තොරව පාර්ලිමේන්තුවේ සියලු දෙනාම ඒකමතිකව පවතින ක්‍රිකට් පාලක මණඩලය ඉවත් විය යුතු බවට යෝජනා කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම ක්‍රියාව උදාරතර ක්‍රියාවක් බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලු දෙනාට ස්තූති කරන බවත් එය සංකේතාත්මක ක්‍රියාවලියක් බවත් එමඟින් නෛතික බලයක් ක්‍රියාත්මක නොවන බැවින් මෙය තවදුරටත් සමාජයේ කථිකාවතක් ලෙස ක්‍රියාත්මක කර මෙම අන්තදූෂිත හොර කල්ලිය එලවා දැමිය යුතු බවත් විපක්ෂ නායකවරයා අද (10) අවධාරණය කළේය.

මෙහි දී ඡන්ද දැමීම සඳහා පමණක් හොර සංගම් රැසක් ලියාපදිංචි කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් ඊට අමතරව අතුරුපාලක මණ්ඩලය අහෝසි කිරීම සම්බන්ධ වන අධිකරණ ක්‍රියාදාමය ගැන සොයා බැලිය යුතු බවත් යම් හෙයකින් මෙහි දී දූෂිත ක්‍රියාවලියක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා නෛතික තීන්දුවක් ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විගණකාධිපති වාර්තාව නීතිපතිට යවන්න

චිත්‍රසිරි කමිටුව, කුසලා සරෝජනී වාර්තාව, විගණකාධිපති වාර්තාව ආදී වාර්තා ඇති බවත් විගණකාධිපති වාර්තාවේ ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට කතානායකවරයා විසින් එය නීතිපතිවරයාට යොමු කළ යුතු බවත් එසේම ක්‍රිකට් ක්‍රීඩා සමාජ නිසි නියාමනයකට ලක් කළ යුතු බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට, ව්‍යවස්ථාදායක සභාවට, විධායකයට සහ අධිකරණයට වඩා උඩින් ක්‍රිකට් පාලක මණ්ඩලය තිබිය නොහැකි බවත් මේ වන විට ක්‍රියාත්මක ක්‍රිකට් පාලක මණ්ඩල ජාවාරම්කාරී ත්‍රස්තවාදයත් මුලින් උපුටා දැමිය යුතු බවත් පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (10) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරමින්.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජයටත් ක්‍රීඩා අමාත්‍යවරයාටත් වගකීමක් ඇති බවත් පැවසීය.

කෝටි ගණනක් මුදල් පිල්ලි ගහලා. වුන දෙයක් හොයා ගන්න නැහැ

2018 එංගලන්ත ශ්‍රී ලංකා සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි ඇ. ඩො. මි. 5.5ක මුදල සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ එම මුදලට සිදුවූ දේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් හොංකොං හි පිහිටි බැංකුවකින් මෙම තැන්පතු බීඩීවීඒ කොම්පස් නම් වෙනත් ගිණුමකට හුවමාරු වී ඇති බවත් එම එය පුද්ගලික ගිණුමක්ද ? ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අයිති ගිණුමක්ද කියා සොයා බැලිය යුතු බවත් ජනතාව මේවා ගැන දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ රටට අහිමි වූ කෝටි ප්‍රකෝටි ගණන් ඩොලර් කාගේ ගිණුමටද ගියේ කියා සොයා බැලිය යුතු බවත් ඊට අමතරව දකුණු අප්‍රිකානු සංචාරයේ විකාශන අයිතියේ 3 වැනි වාරිකය ලෙස ඇ. ඩො. 187084 මුදලත් එසේම දෙවැනි වාරිකය වන ඇ. ඩො. 436540ක මුදලත් සම්බන්දයෙන් සොයා බැලිය යුතු බවත් එම මුදල් කාගේ ගිණුමක තිබේද කියා සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ඊයේ දින ඇ. ඩො. මිලියන 2ක මුදලක් ලබා ගැනීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වූ අනාවරණයේ වර්තමාන තත්ත්වය සහ එයට මැදිහත් වූ පුද්ගලයන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ජනතාව දැනගත යුතු බවත් පැවසීය.

ක්‍රිකට් හොරු එකතු වෙලා අපේ රටේ ක්‍රිකට් තහනම් කරන්න සැලසුම් හදනවා

එසේම ඊයේ පාර්ලිමේන්තුවේ සිදුවීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් කුලි ගෙවන සිනමන් හෝටලයේ ඇති කාර්යාල කාමරයක හොර ගජමිතුරන් කණ්ඩායමක් එකට එකතු වී කෙසේ හෝ ඉන්දියාවේ ෂාට කතා කර පැය 72ක් ඇතුළත අපේ ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමකට ලක්කරන බවට සාකච්ඡා කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පියවර ගත යුතු බවත් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් හොරා කන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.