විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ලබන සතියේ IMF මුනගහිමට නියමිතව ඇති අතර එහිදී IMF එක හරහා මාතෘ, ළමා මන්දපෝෂණය තුරන් කිරීමේ වැඩසටහනක් ලබා ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය වී ඇත.

මේ රටේ ළමා, ළදරු හා මාතෘ මන්දපෝෂණය ඉහළ මට්ටමක ඇති බවත් 2022 සිදු කළ සංගණයක දී වයස අවුරුදු 5-18 අතර දරුවන්ගෙන් 25%ක් අඩු බර දරුවන් බවට අනාවරණය වී ඇති බවත් තවත් මෙවැනි සංඛ්‍යාලේඛන ගණනාවකින් මන්දපෝෂණය වර්ධනය වී මව්වරු හා දරුවන් අවදානම් කොට්ඨාසයක් ලෙස මන්දපෝෂණ තත්ත්වය නිසා පීඩා විඳින බැවින් ඉදිරි දින කිහිපය තුළ සමගි ජන බලවේගය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් හමුවීමට යන බැවින් වහාම මේ රටේ මව්වරුන්ගේ, ළදරුවන්ගේ, දරුවන්ගේ හා පාසල් දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය මඟහරවා ගැනීමට විශේෂිත අයි.එම්.එෆ්. ආධාරක වැඩසටහනක් අවශ්‍ය බව පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අයි. එම්. එෆ්. එක, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන එකට එකතු වී විශේෂිත අරමුදලක් ස්ථාපිත කොට මෙම මන්දපෝෂණ තත්ත්වයෙන් මුදවා ගැනීමට විශේෂිත ජාතික වැඩසටහනක් අවශ්‍ය බවට යෝජනා කරන බවත් මන්දපෝෂණය වර්ධනය වීම යනු විෂම චක්‍රයක් නිර්මාණය වීමක් බවත් එය රටේ නිෂ්පාදන ධාරිතාවට සෘණාත්මක බලපෑමක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ඊට අමතරව වහාම ක්‍රියාත්මක කරන පරිදි සියලුම රජයේ පාසල්වල සියලුම සිසුන්ට පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා කරන බවත් රටේ අනාගතය දරු පරපුර බැවින් මොවුන්ගේ නීරෝගී සම්පන්න භාවය සුරක්ෂිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 120 වැනි අදියර යටතේ ඊයේ ගම්පහ දොම්පේ මල්වාන මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මාගේ මේ ව්‍යායාමය පාසල් වැසී හිරගෙවල් විවෘත වීම වැළැක්වීමයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රටක පාසල් පද්ධතිය ශක්තිමත් වන විට හිර ගෙවල් වැසෙන නිසා සක්වල වැඩසටහන හරහා පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම සිදු කරන බවත් සමගි ජන බලවේගයේ මේ ව්‍යායාමය පාසල් වැසීම නොවන බවත් පාසල් වැසුනොත් හිරගෙවල් 1000ක් බිහි වන නිසා රටේ පාසල් 10126ටම නූතනවාදී සුහුරු නිවැරදි අධ්‍යාපනයක් ලබා දීම ඒකායන අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රශස්ත ප්‍රබුද්ධ රටක් මතු පරපුරට දායාද කළ යුතුයි

පවතින බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට නම් රටේ ඇති වැරදි ක්‍රමවේද නිවැරදි කර ගෙන ගොඩ ආ යුතු බවත් රට මේ වන විට අත්ව ඇති ඛේදවාචකය මතු පරම්පරාවට දායාද නොකළ යුතු බවත් මතු පරම්පරාවට දායක කළ යුතුතේ ප්‍රශස්ත ප්‍රබුද්ධ රටක් බවත් ඒ අරමුණ තමාගේ සිතේ දැඩි ලෙස ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපි බලයක් නොමැතිව දරුවන්ට අගයක් එකතු කළා

ලෝකය නව තාක්ෂණයෙන් දියුණු වන විට එම නව තාක්ෂණය මෙරට අධ්‍යාපනයට ලබා නොදීම තුළ පාසල් දූදරුවන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බැවින් දරුවන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් බලයක් නොමැතිව පාසල් දරුවන්ට අගයක් එකතු කිරීම සක්වල වැඩසටහනේ ඒකායන අරමුණ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රටේ ප්‍රශ්න නැහැ කියන අයට දැන ගන්න ප්‍රශ්න රැසක් තිබෙනවා

පවතින තත්ත්වය මත සමහර මව්වරු දවසක එක වේලක් කා තම දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේල් 3ක් ලබා දීමට උත්සාහ කරන බවත් මෙවැනි ඛේදජනක සිදුවීම් රාශියක් රට පුරා අසන්නට ලැබෙන බවත් සමහරු දරුවන් පවා නැතිබැරි කම නිසා රාත්‍රීයේ රැකියාවල නිරතවන බවත් රටේ ප්‍රශ්න නැහැ කියන අයට මෙවැනි ඛේදජනක කතා දැන ගැනීමට සැලැස්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සාමාන්‍ය තත්ත්වයක් නැහැ

රටේ මේ වන විට සාමාන්‍ය තත්ත්වයක් නොමැති බවත් කොවිඩ් සමයේ මෙන් නව සාමාන්‍යකරණ තත්ත්වයක් පමණක් ඇති බවත් බඩගින්න, රස්සා අහිමි වීම, සියදිවි නසා ගැනීම, නැතිබැරි කම ශීඝ්‍රයෙන් වර්ධනය වන නව සාමාන්‍යකරණයක් ඇති බවත් එවැනි දෙයකින් සතුටු විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 84ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4092ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 120ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1201ක් වැය කර තිබේ.