ජනතා විමුක්ති පෙරමුණේ රජයක් යටතේ නීතිය ක්‍රියාත්මක කිරිමේ බලය ජවිපෙ සාමාජිකයන්ට ලබාදෙන බවට කේ.ඩී ලාල්කාන්ත මහතා සිදුකළ ප්‍රකාශය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් බව සමගි ජනබලවේගයේ ප්‍රධාන විධායක නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

ඊයේ (05) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණට සුළු සාමාජිකයන් පිරිසක් සිටින කාල වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ ග්‍රාමීය කමිටු හරහා යුක්ති පසඳලීම සිදුකළ බවත් ඒ හරහා පුද්ගලයින් ඝාතනය කළ බවත් නීතිඥ අජිත් පී පෙරේරා මහතා කීය.

88 , 89 කාල වකවානුවේ දස දහස් ගණනකගේ මරණයට පාර කපපු දේශපාලය නැවත මතුවෙමින් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ නැවත සන්නද්ධ ක්‍රියාවලියකට සුදානම් වෙනවාදැයි කියන කාරණ පිළිබඳව සොයා බැලිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

‘‘රටේ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන්න සෑම කෙනෙකුටම අයිතියක් තිබෙනවා. විප්ලපවාරි දේශපාලන සංවිධාන වල සමාජිකයන් වු අයටත් , ත්‍රස්තවාදී සංවිධානවල සමාජිකයන් වු අයටත් නීති විරෝධි , ප්‍රජාතන්ත්‍රවිරෝධි ප්‍රතිපත්ති අත්හැරලා සාමාන්‍ය සමාජයට එකුවෙලා නැවත දේශපාලනය කරන්න අයිතිය තිබෙනවා. ත්‍රස්වාදී ප්‍රතිපත්ති අත්හැරලා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව රටේ පාලනයට මැදිහත්වීමට ත්‍රස්තවාදී සංවිධානවල සමාජිකත්වය දරපු අයට තිබුණ අයිතිය කවුරුත් අභියෝග කළේ නෑ.

නමුත් ජනතා විමුක්ති පෙරමුණ රජයක් යටතේ නීතිය ක්‍රියාත්මක කිරිමේ බලය සහ අධිකරණ බලය ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන්ට ලබාදෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන නායකයෙක් වන 88 89 ත්‍රස්ථවාදී දේශපාලනයේ හිටපු සාමාජිකයෙක් ලෙස කටයුතු කළ ලාල්කාන්ත පසුගිය මැයි දිනයේ දී ප්‍රකාශයක් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතිය ක්‍රියාත්මක කිරිමේ බලය යුක්තිය පසදලීමේ බලය තිබෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට, ඒ වගේම නඩු ඇසීම අධිකරණ පද්ධතිය හරහා සිදු වෙනවා. මේ ආයතනවලට හැර වෙනත් කිසිදු ආයතනයකට අධිකරණ බලය ක්‍රියාත්මක කිරිමට අයිතියක් නෑ. දේශපාලන පක්ෂවලට , දේශපාලන පක්ෂවල සාමාජිකයන්ට යුක්තිය පසදලීමට නීතිය ක්‍රියාත්මක කරන්න , නඩු අහන්න බලයක් ලබාදීම නීති විරෝධියි.

යුක්තිය පසඳලීමට කටයුතු කරන ආයතන කිසිදු දේශපාලන පක්ෂපාතීත්වයක් නැති , ස්වාධීන තැනැත්තන් විය යුතුයි. විනිශ්චයකාරවරුන්ට , පොලිස් නිලධාරීන්ට දේශපාලන කටයුතු කරන්න තහනම්. යුක්තිය පසදලීන ආයතන , පුද්ගලයන් පක්ෂ දේශපාලනයෙන් තොර විය යුතුයි. අපක්ෂපාති විය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයන්ට නීතිය ක්‍රියාත්මක කිරිමේ බලය සහ අධිකරණය බලය ලබාදෙනවා කියලා ලාල් කාන්ත පවසනවා. මේ ප්‍රකාශය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක්. 88 89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණට ඉතාම අඩු සමාජිකයන් පිරිසක් සිටින කාලයේ තමන්ගේ ග්‍රාමීය ජවිපෙ කමිටු හරහා සීමිත කාලයකට නීතිය ක්‍රියාත්මක කිරිම සිදුකළා.

ඔවුන් නඩු අහල පුද්ගලයන්ට දඩුවම් නියම කළා. සමහර පිරිස් ඝාතනය කළා. මයිකල් රොද්‍රිගෝ පියතුමා , මොරටුව සරසරවියේ උපකුලපතිවරයා , කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර වගේ පුද්ගලයන්ට මරා දමන්න තිරණය කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින්. ඔවුන් යුක්තිය පසදලීම කළේ එහෙමයි. ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්වාදි ක්‍රියාදාමයට , මතවාදයට විරුද්ධ පිරිස ඔවුන් මරා දැම්මා.
ඒ ත්‍රස්තවාදි ව්‍යාපාරයේ නායකයෙක්ව සිටි ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණේ මැයි දිනයට පැමිණි සෙනඟ දැකලා ඔහුට කියවුණා නීතිය ක්‍රියාත්මක කිරිමේ බලය සහ අධිකරණය බලය ලබාදෙනවා කියලා.

රටේ යුක්තිය පසදලීමේ කටයුත්ත සහ නීතිය ක්‍රියාත්මක කිරිමේ බලය කිසිදු දේශපාලන පක්ෂයකට සමාජිකයෙකුට නායකයෙකුට නොදිය යුතුයි. යුක්තිය පසදලීමේ කටයුත්ත සහ නීතිය ක්‍රියාත්මක කිරිම ස්වාධීනව සිදුවිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කාරිකයන්ට නීතිය ක්‍රියාත්මක කිරිමේ බලය සහ අධිකරණය බලය ලබාදෙන බවට ලාල්කාන්ත සිදුකළ ප්‍රකාශය සමගි ජනබලවේගය තරයේ හෙළා දකිනවා. මේ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට , රටේ තිබෙන නීතියට එරෙහි ප්‍රකාශයක් සහ මේ ප්‍රකාශය අනතුරුදායක ප්‍රකාශයක්. ඒවගේම මේ ප්‍රකාශය සිදුකර පුද්ගලයා සහ ඔහු නියෝජනය කරන පක්ෂයේ ඉතිහාසය දෙස බැලූ විට මේ ප්‍රකාශය තවත් බරපතලයි. මේ පිළිබඳව රටේ ජනතාව සොයා බැලිය යුතුයි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් වුණ දවසට , රටේ පුරවැසි අයිතිය යටපත් වුණ දවසට නැවත ජය ගන්නේ නාදුනන තුවක්කුකරුවන්ගේ යුගයයි. ඒ නාදුනන තුවක්කුකරු යම් පක්ෂයක් නියෝජනය කළත් රජයක් නියෝජනය කළත් එය වැරදි ක්‍රියාවක්. නැවත වතාවක් නාදුනන තුවක්කුකරුවන්ගේ යුගයට ගමේ පක්ෂ සාමාජිකයන් නඩු අහලා දඩුවම් නියම කරන යුගයට නැවත නොයා යුතුයි. ඉඒ සඳහා පාර කපන දේශාපලන ව්‍යාපාරයක් තිබෙනවානම් ඔවුන් කරන්නේ වැරදි ක්‍රියාවක්. තරුණයන්ගේ හැගිම් අවුස්සලා , ද්වේශය ක්‍රෝදය ඇති කරලා 71 , 88 , 89 කාලය වගේ දස දහස් ගණනකගේ මරණයට පාර කපපු දේශපාලඥය තමයි නැවත මේ මතුවෙමින් තිබෙන්නේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ නැවත සන්නද්ධ ක්‍රියාවලියකට සුදානම් වෙනවාද කියන කාරණ පිළිබඳව සොයා බැලිය යුතුයි”

සංවර්ධනයේ වැදග්තම ක්ශ්‍රේත්‍රය වන්නේ බලශක්ති ක්ශ්‍රේත්‍රයයි

‘‘ලංකාවේ සංවර්ධනය පිළිබඳව වැදගත්ව ක්ශ්‍රේත්‍රය වන්නේ බලශක්ති ක්ශ්‍රේත්‍රය. විදුලි බලය අඛණ්ඩව , ගුණාත්මක ආකාරයට , ජනතාවට දැරිය හැකි මිලකට ලබාදීම රටක සංවර්ධනයට සහ ජනතාවගේ පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයක්. ලංකාවේ බලශක්ති ක්ශ්‍රේත්‍රයේ ප්‍රධාන වගකීම තිබෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට. ලංකා විදුලි බල මණ්ඩලය රටේ තිබෙන පොහොසත්ම ආයතනය. ලංකා විදුලි බල මණ්ඩලයේ තිබෙන සම්පත් රටේ පුරවැසියන්ගේ සම්පත්. ලංකා විදුලි බල මණ්ඩලය කොටස් 12 කට වෙන් කරලා අධ්‍යක්ෂ මණ්ඩල 12 ක් පත් කර එයින් ලාභ උපයන විකුණා දැමිමට හැකි , සුළං බලාගාර , නොරොච්චෝලයේ ගල් අගුරු බලාගාරය , කැළණි තිස්ස බලාගාර ඇතුළු බලාගාර විකුණා දමන්න තමයි මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ. විදුලි බල මණ්ඩලය කොටස් 12 කට කැඩුවාම කොහොමද විදුලි බිල අඩුවෙන්නේ. ඒ පිළිබඳව කිසිදු අයෙක් පැහැදිලි කරන්නේ නෑ. අද තිබෙන ලංකා විදුලි බල මණ්ඩලයට අධ්‍යක්ෂ මණ්ඩල 12 ක් පත් කළාම තිබෙන තත්ත්වයට වඩා හොද තත්ත්වයක් ඇති වෙනවද? ඒ පිලිබඳව කිසිවෙක් කතා කරන්නේ නෑ. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලය සතු බලාගාර විකුණා දැමීමෙන් කොහොමද රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. එසේ කිරිමෙන් ලංකා විදුලි බල මණ්ඩලය ශක්තිමත් වෙන්නෙත් නෑ , පාරිභෝගිකයාට යහපතක් වෙන්නෙත් නෑ.

මේ කිසිදු දෙයක් පිළිබඳව පැහැදිලි කරන්නේ නැතිව ජනවරමක් නැති ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම ලංකා විදුලි බල මණ්ඩලය කොටස් 12 කට කඩලා ජල විදුලි බලාගාර හැර අනෙකුත් විදුලි බලාගාර විකිණීමට තමයි උත්සහ කරන්නේ. නව විදුලිබල පනත ආණ්ඩුව ගෙන එන්නේම විදුලි බලමණ්ඩලය කොටස් කර විකිණීම සඳහාමයි. විදුලි බලමණ්ඩලය කොටස් කර විකිණීමෙන් පුරවැසියන්ට කිසිදු වාසියක් ලැබෙන්නේ නෑ. විදුලි බලමණ්ඩලය කොටස් කර විකිණීමෙන් විදුලි බිල අඩු වෙන්නෙත් නෑ. ඒ හරහා සිදුවන්නේ විදුලි බිල වැඩිවීම පමණයි.

මන්නාරම සුළං විදුලි බලාගාරය වෙනම සාමාගමක් බවට පත් කර විකිණිමට ආණ්ඩුව කටයුතු කරනවා. මන්නාරම සුළං විදුලි බලාගාරය හදන්න වියදම් වුණ මුදල් මේ වනවිට උපායාගෙන හමාරයි. මන්නාරම සුළං විදුලි බලාගාරය හදන්න ආසියානු සංවර්ධන බැංකුව ණයක් දුන්නා. ඒ ණය මුදලට සමාන මුදලක් වසර තුනක් තුළ උපයාගෙන හමාරයි. මෙවැනි ඉහළ ගුණාත්මක භාවයක් ඇති මන්නාරම සුළං විදුලි බලාගාරය විකුණන්නේ කුමන අරමුණකින්ද. මන්නාරම සුළං විදුලි බලාගාරය මිලදී ගැනිම පිරිසක් බලාගෙන සිටිනවා. ඒ පිරිසගේ ඉත්තෙක් විදිහට තමයි වර්තමාන විදුලි ඇමැති කටයුතු කරන්නේ. ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාගැනීමට තමයි මෙවැනි දේවල් සිදුකරන්නේ.

මන්නාරම සුළං විදුලි බලාගාරයෙන් පාරිභෝගිකයාට නොමිලේ විදුලිය ලැබෙන්නේ. විදුලි බිල අඩු කරගන්න පුලුවන් වන්නේ මන්නාරම සුළං විදුලි බලාගාරය නිසා. එසේනම් ඇයි මේ බලාගාර විකුණන්න ආණ්ඩුව උත්සහ කරන්නේ. වර්තමාන ජනාධිපතිවරයා සහ විදුලි ඇමැතිවරයා මේ දුෂිත ක්‍රියාදාමයේ පංගුකාරයෙක්. නව විදුලි බල පනත සම්මත වුණොත් එය රාජද්‍රෝහි ක්‍රියාවක්.

විදුලිබල මණ්ඩලයට ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. සමගි ජනබලවේගය ඒ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටිනවා.
විදුලිබල මණ්ඩල ආකෘතිය වෙනස් විය යුතු බවත් සමගි ජනබලවේගය පිළිගන්නවා. නමුත් නව විදුලිබල පනත හරහා විදුලිබල මණ්ඩලයට යහපතක් සිදුවෙන්නේ නෑ. නව විදුලිබල පනත හරහා සිදු කරන්න යන්නේ විදුලි බලමණ්ඩලය සතු වටිනා කොටස් ආයෝජකයන්ට විකිණිමයි. විදුලිබල මණ්ඩලය දියුණු කර ගැනීමට ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට එය කැලි වලට කඩා විකුණා දැමීම වැරදි ක්‍රියාවක්.

නව විදුලිබල පනතට එරෙහිව සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට පනතේ ඇති සුදුසු නොසුදුසු තත්ත්වයන් පිලිබඳ සොයාබලන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණය බලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද යන කාරණය පමණයි. නව විදුලිබල පනතට පක්ෂව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයනේ ඡන්දය දෙනවානම් ඔහු රාජද්‍රෝහියෙක්”