අද අප රටේ නිදහස, ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය, සෛරීත්වය තහවුරු කළේ රණවිරුවන් බවත් එම රණවිරුවන් අතරින් ආබාධයන්ට ලක් වූ රණවිරුවන් 25000කට ආසන්න ප්‍රමාණයක් රජයේ බොරු පොරොන්දු නිසා අනාථ වී ඇති බවත් පසුගිය කාලයේ කොටුවේ උද්ඝෝෂණයේ නිරත අවස්ථාවේ බොරු කියා රවට්ටා, අන්දවා ඔවුන්ගේ ඡන්දය ලබා ගෙන අවසානයේ ඔවුන් අනාථ කර ඇති බවත් ඒ අය යුද ජයග්‍රහණය වෙනුවෙන් ඇස් ඉස්මස් ලේ අවයව පරිත්‍යාග කළ බවත් ඔවුන්ට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවත් මොවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කිරිම සඳහා ගත යුතු සියලුම පියවර ගැනීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 176 වැනි අදියර යටතේ ඊයේ (05) අනුරාධපුර මිහින්තලේ තිරප්පනේ බමුණුගම මුස්ලිම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ පුස්ථකාලයට අවශ්‍ය ඉංග්‍රීසි ග්‍රන්ථ ලබා ගැනීමට පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

දූෂණය තුරන් කිරීමේ ක්‍රමවේදය මූලික අයිතිවාසිකම් මෙන් ශක්තිමත් විය යුතුයි

එසේම රටක් ලෙස ගොඩ ඒමට නම් නිවැරදිව වැඩක් කරන්න ඉගෙන ගත යුතු බවත් රට බංකොලොත් විමට හේතුවක් නම් මෙරට ක්‍රියාත්මක හොරකම දූෂණය වංචාව බවත් මෙම හොරකම දූෂණය වංචාව දුරලන්න ඉටු කළ යුතු කාර්යභාරය ඉටු කළ යුතු බවත් හොරකම් දුෂණ වංචා නැති කර ආයතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රටේ උත්තරීතර නීතියෙන් ස්ථාපිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හරියට වැඩ කරන අයට Promotion නැති අයට Demotion

තමා බලයට පැමිණි පසු රට වෙනුවෙන් හරියට වැඩ කරන අයට උසස් වීම් ලබා දෙනවා සේම හරියට වැඩ කළ නොහැකි අයව තනතුරෙන් පහළට දමන බවත් විපක්ෂ නාක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

ජාතිය, ආගම, කුලය, පන්තිය දේශපාලනයට ගාව ගන්නේ ඡන්දය වැඩි කර ගන්න

රට හදනවා කියන දේශපාලනඥයෝ සිංහල පමණයි දමිළ පමණයි කියන බවත් මේ දේවල් කියන්නේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට බවත් තවත් පුද්ගලයන් ආගම, ජාතිය, කුලය, ගෝත්‍රය, පන්තිය, තරාතිරම පදනම්ව මැතිවරණ ව්‍යාපාරවල නිරතවන බවත් මේ සියල්ල ජනතාව වෙනුවෙන් නොව තමන්ගේ සහ නායකයන්ගේ තැන රැක ගැනීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ හැමදේම කරන්නේ පාසල් 10126 ඉගෙනුම ලබන 41 ලක්ෂයක් පාසල් දූදරුවන් ගැන නොසිතා බවත් මේ දේශපාලන සූදුවට නැවතීමේ තිත තබා අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බවත් ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට මුල්තැන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව ඉල්ලූ ක්‍රමයේ වෙනස දුන්නේ අපි

ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටින ජනතාවට ක්‍රමයේ වෙනස සමගි ජන බලවේගය විපක්ෂයේ සිටම ලබා දුන් බවත් 76 වසරක ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ කිසිදු විපක්ෂයක් සිදු නොකළ සේවාවක් වත්මන් විපක්ෂ වන සමගි ජන බලවේගය ඉටු කර ඇති බවත් තනතුරු ලැබෙන්නටත් පෙර මේ සේවාව කළ ප්‍රථම අවස්ථාව මෙය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නෙළුම් කුළුණු හැදුණ රටේ අධ්‍යාපනයට කුඩම්මාගේ සැලකිල්ල

රටේ නෙළුම් කුළුණු සකස් කළත් අධ්‍යාපනයට කුඩම්මාගේ සැලකිල්ල ලැබුණත් මේ වසර අවසන් වීමට පෙර මෙරට රජයේ පාසල් 10126ම සුහුරු පාසල් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට මාගේ ගෞරවය හිමිවෙනවා

අද ලෝක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමියන්ගේ දිනය බවත් අපේ රටේ ප්‍රාථමික සෞඛ්‍ය සහ රෝග නිවාරණ පැත්තෙන් විශාල සේවාවක් ඔවුන් ඉටු කරන බවත් මව්වරුන්ගේත් ළදරුවන්ගේත් සෞඛ්‍ය සම්පන්නභාවය වැඩිදියුණු කරන්නට විශිෂ්ට සේවාවක් ඉටු කරන මේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමියන්ටත් තමාගේත්, රටේත් ගෞරවය පිරිනමන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 176ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1936ක් වැය කර තිබේ.