ඇමතිවරයාටත් පාර්ලිමේන්තුවටත් ඉහළින් යන්න ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ වෙනම රාජ්‍යයක් නෙවෙයි

ක්‍රීඩා සංගම් යනුවෙන් ඇතැම් සංගම් විවිධ අරමුණු පෙරදැරිව බිහි වුවත් ඒවා ප්‍රායෝගිකව මහ පොළොවේ යථාර්ථයක් නොවන බවත් එම සංගම් විවිධ පුද්ගල න්‍යාය පත්‍ර හෝ කණ්ඩායම් න්‍යාය පත්‍ර මුදුන්පත් කර ගැනීමට නිර්මාණය වන බැවින් මේවා අවභාවිත නොකිරීමට පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති විෂයන්ට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අයත් වුවත් මෙම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අයත් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් සාමාජිකයන් නොපැමිණිම ගැටලුවක් බවත් ඔවුන් පාර්ලිමේන්තුවට සහ ඇමතිවරයාට ඉහළින් යා නොහැකි බවත් එය වෙනම රාජ්‍යයක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (8) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අයත් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව අමතමිනි.

දැනට ඇති නීති රාමුව තුළ නාමමාත්‍රික සංගම් බිහි වීම නැවැත්වීමට නොහැකි හෙයින් නව ක්‍රීඩා පනතක් හෝ පනත් ගණනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් එවැනි නාමමාත්‍රික සංගම් සඳහා දඬුවම් ක්‍රමයක් ඇති කළ හොත් මෙවැනි ව්‍යාජ සංගම් බිහි වීම නතර වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අයවැය සතියේ විශේෂිත වූ දිනයක් දා ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුද්ගලයන් ගෙන්වා ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දෙන ලෙසත් විපක්ස නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.