ආණ්ඩුව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන්නේ අපරාධ වැළැක්වීමට නොව අපරාධ වැඩිකිරිමට බව එහි දී මේ රජය ලිංගික කටයුතු සඳහා කැමැත්ත ලබා දෙන වයස් සීමාව 16 සිට 14 දක්වා අඩු කිරීමට යන බවත් අද රට පුරා අපචාර, අතවර කිරිම්, දූෂණය ඉහවහා ගොස් ඇති අවස්ථාව ආණ්ඩුවේ විසඳුම වී ඇත්තේ මෙය බවත් මෙය ලිංගික අපචාර ප්‍රවර්ධනය කිරිමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වයස අවුරුදු 22ට පිරිමි පුද්ගලයෙක් යම් කිසි දූෂණයක් අතවර කිරිමක් සිදු වුවහොත් මේ හරහා ඔහුට ලබා දෙන දඩුවම ලිහිල් කර ඇති බවත් මෙය කාන්තාවන්ට සිදු කළ අපහාසයක් බවත් 363 වැනි වගන්තිය හරහා කාන්තා දූෂණය වෙනමම විග්‍රහ කර දඩුවම් ලබා දීම වෙනමම සඳහන් කර ඇති වගන්තියක් තිබියදී මේ යටතට පිරිමි දුෂණයත් ඇතුළත් කර මෙම වගන්ති බාල්දු කිරිමට කටයුතු කර ඇති බවත් මේ වෙනුවෙන් වෙන වෙනම වගන්ති සකස් කිරීමට හැකියාව තිබිය දී එවැනි දෙයක් සිදු නොකර දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන හරහා කාන්තා අයිතිය පළුදු කිරිමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට හිතක් පපුවක් ඇත්නම් මේ අමනෝඥ දණ්ඩ නීති සංග්‍රහ පනත් කෙටුම්පත ඉල්ලා අස් කර ගත යුතු බවත් එසේ නොවුවහොත් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මහපාරෙත් දැවැන්ත අරගලයක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද බදුල්ලේ විල්ස් පාර්ක් නව ක්‍රීඩාංගණයේදී පැවැති සමගි වනිතා බලවේගයේ බදුලු දිස්ත්‍රික් සමුළු අමතමිනි.

අන්ත සමාජවාදය හරහා කර්මාන්ත ශාලා විනාශ කරන යුගය එපා

මෙරට කාන්තාව පවුල ගැන සිතන නිසා කිසිදාක හිංසනයට, පීඩනයට, මිනිමැරුමට, මංකොල්ල කෑමට යොමු නොවන බවත් පසුගිය කාලයේ මිනීමරණ යුගයක් චිට් එකකින් මුළු රටම වැසුණු කර්මාන්තශාලා පුච්චා දමා ප්‍රතිපත්තියක් තිබූ බවත් මෙම ප්‍රචණ්ඩකාරී අන්ත වාමාංශික අන්ත සමාජවාදී ප්‍රතිපත්තියක් තුළින් සිදුවන්නේ සියයට 33ක් තිබූ ශ්‍රම බලකා කාන්තා සහභාගීත්වය පහළ වැටෙන බවත් බංකොලොත් රටක්ට තිබිය යුත්තේ අන්තවාදී සමාජවාදය හරහා කර්මාන්තශාලා පුලුස්සා දමන යුගය නොව වැඩි වැඩියෙන් රැකියා ලබා දෙන යුගයක් බිහි කිරිම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළවල් කොපි කරන යුගයක් දැන් තියෙන්නේ

කාන්තාවන්ගේ සහභාගීත්වය ලබා ගැනීමට සහ අයිතීන් සුරක්ෂිත කිරිමට ස්ථාවර කාන්තා ජනාධිපති කොමිසමක් ඇති කරන බවත් සමගි ජන බලවේගයේ මෙවැනි වැඩපිළිවෙළ කොපි කර වෙනත් පක්ෂ තමන්ගේ මෙන් ඒවා ඉදිරිපත් කරන බවත් බලය තිබුණත් ඔවුන් මෙවැනි කාන්තා කොමිසම්, ජනාධිපති කාර්ය සාධන බලකා එකක්වත් ඇති නොකළ බවත් ජනාධිපතිවරණ සමයේ පමණක් ජනතාව රැවැට්ටීමේ අරමුණින් රට වටේ යමින් ජනතාව අන්දවමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තාව මැතිවරණ සමයේ රවටන යුගය නැති කළ යුතු යි

ඡන්දය එනකම් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ගැන විශාල වශයෙන් කතා කළත් ඡන්දයෙන් පසු එම අමාත්‍යාංශවලට වෙන් වන්නේ කුඩා මුදලක් පමණක් බවත් සෑම විටම කාන්තාව අවශ්‍ය වී ඇත්තේ ඡන්දය ලබා ගැනීමට පමණක් බවත් මේ සංස්කෘතියට නැවතීමේ තිත තැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විකල්ප කණ්ඩායම් මැතිවරණ වේදිකාවේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරනවා

කාන්තාවන්ට අනන්‍ය වූ සංස්කෘතිය අයිතියක් ආගමික අයිතියක් ඇති නමුත් සමහර විකල්ප කණ්ඩායම්වලට ආගම, දහම් පාසල, පූජනීය ස්ථාන ගැන ආගම කේන්ද්‍ර කර ගත් සදාචාර සම්පන්න රටාවන් ගැන විශ්වාස නැති නිසා ලක්ෂ 220ම නිරාගමික විය යුතු බව පවසන බවත් එහිදි ආගම ඇදැහීම තහනම් බවත් මොවුන් මැතිවරණ වේදිකාවල රටේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කර ඇති බවත් මොවුනගේ ව්‍යාජ කතාවලට හසුවී මෙරට ඕනෑම අයකුට ඇති ආගමික, සංස්කෘතික නිදහස පාවා නොදෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි කාන්තාවන්ට මුල් තැන දුන්නේ අද ඊයේ නොවෙයි

සමගි ජන බලවේගය කාන්තා පරපුරට මුල්තැන ලබා දුන්නේ අද ඊයේ නොවන බවත් 2019 ජනාධිපතිවරණයේ දී කාන්තාවන් වෙනුවෙන් වෙනමම ප්‍රඥප්තියක් ඉදිරිපත් කළ එකම අපේක්ෂකයා තමා බවත් මේ ප්‍රඥප්තිය තුළ කාන්තාවගේ ආර්ථික, සමාජීය, දේශපාලනික, ආගමික, සංස්කෘතික සහ අනෙකුත් අයිතිවාසිකම් ගැන සඳහන් බවත් මෙවර කාන්තා පරපුරේ උනන්තිය උදෙසා අලුතින්ම සඳගණ ප්‍රකාශය හරහා උතුම් කාන්තාව ආදරණිය කාන්තාව ප්‍රධාන කාන්තාව වෙනුවෙන් වැදගත් යෝජනා රැසක් මහපොළොවේ යථාර්ථය බවට පත් කර ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තා හා ළමා අයිතිය උත්තරීතර නීතියට යා යුතුයි

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කාන්තාවගේ ආරක්ෂාව, දරු පරපුරේ ආරක්ෂාව ගැන පැහැදිලි සඳහන් නොමැති නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් තුළට කාන්තාවන්ගේ සහ ළමුන්ගේ අයිතිවාසිකම් ඇතුළත් කරන ව්‍යවස්ථා සංශෝධන ගෙන එන බවත් සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ සුහුරු කාන්තාවක් බිහි කිරිම බවත් ඒ සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ කේන්ද්‍ර කරන ගෙන ජන ශක්ති කාන්තා සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කර සෑම කාන්තාවකටම ව්‍යවසායකයකු වීමට මාර්ගය සකස් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිවසේ සිට කාන්තාව සවිබල ගන්වන වැඩසටහන් අවශ්‍යයි

දූදරුවන්ගේ වර්තමානයට සහ අනාගතයට අගතියක් නොවන ආකාරයට නිවසේ සිට කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යවසාය වැඩසටහන දියත් කරන බවත් 33%ක්වූ ශ්‍රම බලකා කාන්තා සහභාගීත්වය 45-50% දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරය පැවසීය.

ප්‍රසූත නිවාඩු කාලය තුළ දීමනාවක්

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිරත කාන්තාවන් ප්‍රසූත නිවාඩු කාලය තුළ දිමනාවක් ලබා දීමට කටයුතු කරන බවත් වෙරිටේ රිසර්ච් ආයතනයට අනුව ඒ සඳහා වැය වන්නේ සුළු මුදලක් වුවත් පුරුෂ කේන්ද්‍රීය සමාජය තුළ ඒ දීමනාව ලබා දෙන්න පාලකයන්ට කොන්දක් නැති වුවත් සමගි ජන බලවේගයට එවැනි හැකියාවක් ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කාන්තා හිංසනය වැළැක්වීමට නව නීති රීති

එමෙන්ම නිවසේදීත් මහමගදීත් වැඩබිමේදීත් හිංසනයට ලක්වන කාන්තාවන් සුරක්ෂා කිරීමට නෛතික ප්‍රතිපාදන සකස් කරන බවත් මේ රටේ බහුතරයක් වන කාන්තාවන් සුරක්ෂා කිරිමට කැපවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ආර්ථව දරිද්‍රතාව තුරන් කිරිමට පියවර

තවද කාන්තාවන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් අවධානය යොමු කර ආර්ථික දර්ද්‍රතාව තුරන් කිරිමට කටයුතු කරන බවත් 2019 මෙන්ම අදත් ඒ ගැන අවධානය යොමු කරන බවත් එය කතාවට පමණක් නොව ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවත් රාජ්‍ය අනුග්‍රහය තුළින් ආර්ථික දරිද්‍රතාව තුරන් කිරිමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට තිත

මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුවී ඇති කාන්තාව එම වහල්භාවයෙන් මුදවා ගැනීමට කටයුතු කරන බවත් ඊට අමතරව උඩරට වැඩ කරන කාන්තා ප්‍රජාව තමන්ගේ දහඩිය මහන්සිය කැපකිරීම තුළ රටට ඩොලර් උත්පාදන කර දෙන බවත් ගෙදර බුදුන් අම්මා ලෙස හදුන්වන මේ කාන්තාව කේන්ද්‍ර කර ගෙන සමාජ සුබසාධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තා නායකත්වයට මුල්තැන

තවද සෑම ගමකම කාන්තා නායකත්වය හා සහභාගීත්වය ලබා දී ගම සදා නගරය සදන නගරය හදා රට හදන ග්‍රාම රාජ්‍ය සංකල්පයේ මූලිකත්වය කාන්තාවන්ට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපි ගාව ඇත්තේ ප්‍රායෝගික වැඩපිළිවෙළ විතරයි

විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම් තැන තැන කයිවාරු ගැහුවාට සමගි ජන බලවේගය කිසිදාක කයිවාරු ප්‍රතිපත්ති ඉදිරිපත් නොකරන බවත් 76 වසරක් මේ රටේ විපක්ෂයක් නොකළ වැඩකොටසක් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට පසුගිය වසර 3 ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධන හරහා කාන්තා අයිතිය හෑල්ලුවට ලක් වෙනවා.