ජනාධිපතිවරණ සටන ආරම්භ වෙද්දි රටේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂ රැසකට අත්වී තිබෙන ඉරණම සෝචනීය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්න කරුණාතිලක මහතා ඊයේ (28) පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්න කරුණාතිලක මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා නායකත්වය ලබාදෙන සිරිකොත පක්ෂ මූලස්ථානයේ මකුළු දැල් බැඳී ඇති බවත් නෙළුම් මාවතේ පොහොට්ටු කණ්ඩායම් කොටස් ගණනාවකට කැඩි ඇති බවත් ඩාර්ලි පාරේ තිබෙන පක්ෂ කාර්යාලයේ දොරවල් හැමවෙලාවෙම වසා දමා ඇති බවත් පැලවත්තේ තිබෙන පක්ෂ කාර්යාලය සමාජ මාධ්‍ය හරහා ගොඩ යන්න දගලන තත්ත්වයක් දක්නට ලැබෙන බවත් නමුත් සමගි ජනබලවේගය සෑම මට්ටමකින්ම සංවිධාන කටයුතු සිදුකරමින් රටපුරා ජනතාව ඒකරාශි කරමින් දැවැන්ත බලවේගයක් බවට පත්ව ඇති බවත් කරුණාතිලක මහතා හෙතෙමෙ සඳහන් කළේය.

එමෙන්ම ජාතික ජන බලවේගය උත්සහ කරන්නේ සමාජ මාධ්‍ය හරහා මැතිවරණ සටන ජය ගැනීමට බවත් පොදුජන පෙරමුණ උත්සහ කරන්නේ අලි වල්ගයේ එල්ලිලා මැතිවරණය සටන ජය ගැනීමට බවත් ඔවුන්ට ඉදිරි වී තිබෙන එකම විකල්පය එය බවත් ගයන්න කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවැසීය.

එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්න කරුණාතිලක මහතා මෙසේද පැවැසීය.

‘‘මේ වනවිට ජනතාවට මැතිවරණ උණුසුම දැනෙන්න පටන් ගෙන තිබෙනවා. රටේ ජානාධිපතිවරයා තෝරන මැතිවරණය ආරම්භ වනවාත් සමඟම රටේ තිබෙන ශක්තිමත්ම දේශපාලන පක්ෂය ලෙස සමගි ජනබලවේගයට ඕනෑම මැතිවරණයක් ජයග්‍රහනයෙන් කෙළවර කරන්න පුලුවන් ශක්තිය සියලුදෙනාට ඉදිරියේදී දැකගන්න ලැබෙයි.
සමාජ මාධ්‍ය ජාලාවල මොනවා කළත් සටන තිබෙන්නේ මහ පොලොවේ බව සියලු දෙනා තේරුම් ගත යුතුයි. ඒ වගේම ජනාධිපතිවරණය ආරම්භ වනවාත් සමඟම රටේ දේශපාලන පක්ෂ රැසකට අත්වෙලා තිබෙන ඉරණම සෝචනීයයි.

ජනාධිපතිවරයා නායකත්වය ලබාදෙන සිරිකොත පක්ෂ මූලස්ථානයේ මේ වනවිට මකුළු දැල් බැඳිලා , නෙළුම් මාවතේ තිබෙන පොහොට්ටු කාර්යාලය කණ්ඩායම් ගණනාවකට කැඩිලා ගිහින් තිබෙනවා. ඩාලි පාරේ තිබෙන පක්ෂ කාර්යාලයේ දොරවල් හැමවෙලාවෙම වහලා තිබෙන්නේ. පැලවත්තේ තිබෙන පක්ෂ කාර්යාලය ෆේස් බුක් කැම්පේන් එකෙන් ගොඩ යන්න තමයි උත්සහ කරන්නේ. නමුත් සමගි ජනබලවේගය රටපුරා ජනතාව ඒකරාශි කරගනිමින් දැවැන්ත බලවේගයක් ගොඩනගලා තිබෙනවා.

රටම බංකොලොත් කළ පොහොට්ටුවේ පිරිසට වෙනත් මගක් දැන් නෑ. ඔවුන්ට අවසානයේ අලි වල්ගයේ එල්ලිලා යන්න තමයි ඔවුන්ට සිද්ධ වෙලා තිබෙන්නේ. තම පක්ෂය , පක්ෂයේ පාක්ෂිකයන් රැක ගන්න බැරි වුණ පුද්ගලයෙක් වෙනත් පක්ෂයක් ආරක්ෂා කරයි කියලා හිතනවානම් ඒක තමයි 21 වන සියවසේ විශාලතම දේශපාලන රැවටිල්ල.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කරේ එල්ලිලා ගොඩ යන්න උත්සහ කරන පොදුජන පෙරමුණේ කණ්ඩායමට මේ දිනවල ඇගට වදින හුළගත් සැපැයි කියලා හිතෙනවා ඇති. නමුත් අලි වල්ගය අත් හැරිලා බිමට වැටුණ දවසට තමයි ඔවුන්ට සැබැ තත්ත්වය තේරුම් යන්නේ.

ආර්ථික ඝාතකයින් බලයට ගේන්න ලීක්වාන් යු , මහතීර් මොහොමඩ් ගැන ප්‍රකාශ කරමින් ඒ අයට භාර දුන්නොත් රට හදන හැටි කොහොම වෙයිද කියලා දේශපාලන වේදිකාවේ කතා කළ පිරිස බලයට පැමිණ වසර දෙකක් යනවිට කියපු දේවල් අපිට හොදට මතකයි. මෙවරත් වර්තමාන ජනාධිපතිවරයාගේ කරේ එල්ලිලා ගොඩයන්න දගලන ආර්ථික ඝාතකයින්ට අවසානයේ කියන්න වෙන්නේ රනිල් අපිව කරකවලා අතහැරියා අපිට මොනවා උනාද දන්නේ නැ කියලා ඔවුන් ටික දවසකින් කියනවා අහන්න ලැබෙයි.

මොනවා ඔවුත් අපි සතුටු වෙනවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා පාසල්වලට බස් රථ පරිත්‍යාග කරමින් , පාසල්වලට සුහුරු පන්තිකාමර ලබාදෙමින් රට වටේ යන විට ආණ්ඩුවට මැතිවරණ බිය දැනෙන්නට පටන් ගෙන ළමා මන්දපෝෂණය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ලක්ෂ සංඛ්‍යාත දරුවන් පාසල් යන්නේ බඩගින්නේ බවත් විපක්ෂ නායකවරයා ප්‍රධාන විපක්ෂය විසින් සිදුකළ හඩ නැගීමට අවධානය යොමුකරලා වර්තමාන රජයේ අවසන් මාස කිහිපයේ ප්‍රේමදාස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් දරුවන්ට දිවා ආහාරය ලබාදීමට කටයුතු කිරිම පිළිබදව විපක්ෂය ලෙස සතුටු වෙනවා.

දිවා ආහාරය එක වසරේ සිට 5 වසර දක්වා දරුවන්ට ලබාදීමට තමයි රජය කටයුතු කරලා තිබෙන්නේ. ළමා පුර්ව සංවර්ධනය උදෙසා තමයි ආහාර වේල ලබාදෙන්නේ. අද වනවිට එකම පවුලේ විවිධ ශ්‍රේණිවල ඉගෙන ගන්න දරුවන් පාසල් යන්නේ බඩගින්නේ. ඒ නිසා මෙම ආහාර වැඩසහනට 5 ශ්‍රේණිය දක්වා පමණක් සීමා නොකර අනෙකුත් ශ්‍රේණිවල දරුවන්ටත් ලබාදෙන්න සුදුසු කාලයක් බව ආණ්ඩුවට මතක් කරන්න කැමැතියි.

ඒ වගේම රසායනික පොහොර තහනම් කිරිමට ගත් අමනෝඥ තීරණය නිසා කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිස සහ වැවිලි කර්මාන්තයේ නියැලි සිටින පිරිස් බරපතල අර්බුදකාරී තත්ත්වයකට මුහුණු දී සිටිනවා. ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් වාසය කරන්නේ ආසියානු කලාපයේ. ආසියානු කලාපයේ වී ගොවිතැනට වැදගත් තැනැක් හිමිවෙනවා. ලංකාවේ ගොවිතැන ජිවිකාව කරගත් ලක්ෂ සංඛ්‍යාත ගොවිජනතාව අතර වැඩි පිරිසක් ඉන්නේ වී ගොවීන්. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අඩු වැඩි වශයෙන් වී ගොවිතැන සිද්ධ වෙනවා. රජය බලයට පත් වුණාට පසුව ගොවීන් විශාල අර්බුදයකට ඇඳ දමන්න කටයුතු කළා. වැඩිම ගොවි උද්ඝෝෂණ රට පුරා සිද්ධ වුණේ මේ රජය පත් වුණාට පස්සේ. වී ගොවීන් අමාරුවෙන් ලබාගත් අස්වැන්නට නිසි මිලක් නොලැබීම සම්බන්ධයෙන් ගොවීන් දැඩි අපහසුතාවයකට මේ වනවිට පත්ව සිටිනවා. ගොවියාට සබන් කැටයක් මිලදී ගන්න වී කිලෝ දෙකක් වත් විකුණන්න අද සිද්ධ වෙලා තිබෙනවා. ගොවීන් භාවිතා කරන උදැල්ලක් රුපියල් 3000 කට වඩා වැඩියි. යන්ත්‍රසූත්‍රවල මිල , පොහොර මිල , ඉන්ධන මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ගොවීන්ට මෙය දරාගැනීමට නොහැකි වෙලා තිබෙනවා.

රසායනික පොහොර තහනම නිසා වී වගාවට වගේම , තේ , පොල් , කරුදු වැනි වැවිලි බෝග වලට විශාල බලපෑමක් සිදුවෙලා තිබෙනවා. රසායනික පොහොර තහනමේදී එළඹුන මහ කන්නයේදීම අස්වැන්න සියයට 37 ක් අඩු වුණා. යල කන්නයේදී වී අස්වැන්න සියයට 30 කින් අඩු වුණා. මේ ආකාරයට කන්න ගණනාවකදී වී ගොවීන්ට බලපෑම් එල්ල වුණා. රසායනික පොහොර විගඩමින් පසුව මේ ගෙවෙන්නේ පස් වැනි කන්නයයි. මේ කන්නයේදීවත් වී අස්වැන්න යථා තත්ත්වයට පත් කර ගන්න රජයට කිසිදු වැඩපිළිවෙළක් නෑ.

කන්න තුන හතරක් යන තුරු බන්ඩි පොහොර , මහ පොහොර නොලැබුණ නිසා අස්වැන්න අඩු වෙලා තිබෙනවා. ගොවීන්ට ලැබුණ යුරියා පොහොර ගැන ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තිබෙනවා. වී ඇතුළු අනෙකුත් බෝගවල අස්වැන්න අඩුවීමට පොහොරවල ගුණාත්මක භාවයටද බලපාලා තිබෙනවා.

ඒ වගේම මෙවර මහ කන්නයේ අස්වැන්න නෙළමින් තිබියදීම සහල් ආනයනයට පනවා තිබු බද්ද අඩු කරන්න කැබිනට් මණ්ඩලය තීරණය කළා. මෙයත් ගොවීන්ට බලපා තිබෙනවා. බදු සහනය නිසා ආනයනික සහල් තොග රට තුළට පැමිණීම සමඟ දේශීය ගොවීන්ගේ වී වලට නිසි මිලක් නොලැබී ගොස් තිබෙනවා. ඒ හරහා මහා පරිමාන වී මෝල් හිමියන්ගේ ගොවීන්ගේ අස්වැන්න කුනු කොල්ලයට වී මිලදී ගන්නා ආකාරය වී වගා කරන සෑම දිස්ත්‍රික්කයකම දකින්න තිබෙනවා.

වී අලෙවි මණ්ඩලයට ස්වභාවික මරණයක් අත්කර දෙන්න රජය උත්සහ ගනිමින් සිටිනවා. ගොවීන්ගේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට මුදල් නිදහස් නොකිරිම හරහා වී අලෙවි මණ්ඩලය සුදු අලියෙක් බවට පත් වෙලා. ආණ්ඩුව ප්‍රකාශ කළා වි අලෙවි මණ්ඩලය වී මිලදී ගැනිම සිදුනොකරන නිසා වී මෙට්ට්‍රික්ටොන් 66,0000 ක් දිස්ත්‍රික් ලේකම්වරු හරහා මිලදී ගන්න බව පැවසුවා. නමුත් එය නිසි වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නෑ.

වී කිලෝවක් නිෂ්පාදනය කරන්න අද වනවිට රුපියල් 130 -135 ක් අතර මිලක් වැයවෙනවා. නමුත් වී කිලෝවක් අලෙවියෙන් එවැනි මිලක් ගොවීන්ට ලැබෙන්නේ නෑ. ඒ නීසා ගොවීන් තවත් ණය කාරයින් බවට රජය විසින් පත් කරලා තිබෙනවා.

කුඩා හා මධ්‍ය පරිමාන වී මෝල් 5000 ක් පමණ රට පුරා තිබෙනවා. එයින් 1000 ක් පමණ වැසි ගොස් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ රටේ වී ගොවීතැන බරපතල තත්ත්වයට මුහුණ දී තිබෙනවා. රටට බත සපයන ගොවීයා ගැන රජය මීට වඩා සොයාබැලිය යුතුයි.

ඉස්සර තිබුණ ජවිපෙ කඩේ විකුණුවේ දෑකැති සහ මිටි විතරයි. ඒ කාලයේ ඔවුන්ට හමුදාව , පෞද්ගලික විශ්ව විද්‍යාල , ඉන්දියානු භාණ්ඩ , ඇමරිකානු භාණ්ඩ දිරවව්වේ නෑ. නමුත් ජවිපෙ කඩේ මාලිමා කඩේ වුණාට පස්සේ දෑකැති මිටි හැර අනෙකුත් සියලුම භාණ්ඩ ඒ කඩයේ විකුණනවා. වැඩියෙන්ම විකුණන්නේ ඉන්දියානු සහ ඇමෙරිකානු භාණ්ඩ. ඒ කාලයේ හමුදා පවුල් ඔවුන්ට දිරවව්වේ නෑ. නමුත් අද හමුදා පවුල් නැතිව බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රවර්ධනය කරන තැනැක් වෙලා තිබෙනවා. ෆේස්බුක් හීන බොදවෙලා ජනාධිපතිවරණ ප්‍රතිඵල ආවට පස්සේ මේ සියලු කඩ වැහිලා යන ආකාරය ජනතාව බලාගන්න පුලුවන්. ඒකට වැඩි ඇතක් නෑ. ප්‍රධාන මැතිවරණයකදී ඒ පිළිබඳව දැක ගන්න පුළුවන්.

එකම පවුලේ පිරිස පොදුජන පෙරමුණේ තනතුරු වලට පත් කර ගැනීම වෙනස් ලෙස අපි දකින්නේ නෑ. සමගි ජනබලවේගය එවැනි දේවල්වලට සීමා වුණ පක්ෂයක් නෙවෙයි. ජනතාව පිළිබඳ සංවේදී , හැගිමක් තිබෙන , කැපවීම් කරන්න පුලුවන් , අවංක නායකයෙක් සමගි ජනබලවේගයේ සිටිනවා. ඒ වගේම වගකීම් දැරිය හැකි විවිධ පළාත් වලින් පත්වුණ හොද නායකයෝ පිරිසක් සමඟ ජනබලවේගය සතුව සිටිනවා. පොදුජන පෙරමුණෙ වගේ කැලි වලට සමගි ජනබලවේගය කැඩිලා ගිහින් නෑ. ඕනෑම දේශපාලන පක්ෂයක හොද දේවල් නරක දේවල් සිදුවෙනවා. නමුත් අවශ්‍ය අවස්ථාවලිදී එකමුතුව රටේ ජනතාවගේ අභිලාශයන් ඉටු කිරිමට සමගි ජනබලවේගයේ පිරිස එකට පෙළ ගැහෙනවා. සමගි ජනබලවේගය වටා ඒකරාශි වන පිරිස දෙස බැලුවාම කාටද ජන මතය තිබෙන්නේ කියලා පැහැදිලි වෙනවා. සමගි ජනබලවේගයේ කාන්තා බලමණ්ඩලවලට දිස්ත්‍රික්කයෙන් විතරයි කාන්තාවන් සහභාගි වෙන්නේ. සමහර දේශපාලන පක්ෂ වගේ රට වටෙන්ම පිරිස ගේන ප්‍රතිපත්තියක් සමග ජනබලවේගයට නෑ. සමගි ජනබලවේගයේ නායකයා විවිධ පිරිස් සමඟ විවිධ ක්ශ්‍රේත්‍ර නියෝජනය කරන පිරිස් සමඟ පැහැදිලි ගමනක් යන නායකයෙක් බව අද වනවිට සනාථ වෙලා තිබෙනවා. සමගි ජනබලවේගය සෑම විටම ජනතාව පිළිබඳ විශ්වාසය කරන පක්ෂයක්. සමගි ජනබලවේගය සමීක්ෂණ වලට වඩා විශ්වාස කරන්නේ ඡන්ද ප්‍රතිඵලයට. අපට දැඩි විශ්වාසයක් තිබෙනවා ඡන්ද ප්‍රතිඵල තුළින් ඉහළ වාර්තාවක් තියනවා කියලා. ‘‘