රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවේ සාමාජිකයන් සමඟ සෘජු විවාදයක් පවත්වන්න සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (31) පැවැසීය.

අද (31) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස ඉන්දියාව නම් කරලා තිබෙන බව ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරලා තිබෙන බවත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සිරිසේන මහතා සිදුකළ ඒ ප්‍රකාශය වගකීමකින් තොර ප්‍රකාශයක් බවත් මෙම ප්‍රකාශය රටවල් දෙකක් අතර ගැටුමක් ඇති කරන්න ගත් උත්සාහයක ලෙස මෙම ප්‍රකාශය දකින බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ කීය.

‘‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවෙලා වසර 5 ක් ගොස් තිබෙනවා. තවමත් මේ සම්බන්ධයෙන් කතා බහ කරනවා. ඒ අතර තුරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව නොයෙකුත් චෝදනා එල්ල කරලා තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරලා තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස ඉන්දියාව නම් කරලා තිබෙන බව ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරලා තිබෙනවා. මෙය වගකීමකින් තොර ප්‍රකාශයක්. මෙවැනි කතාවක් ප්‍රකාශ කරන්න සාක්ෂි තිබිය යුුතියි. රටවල් දෙකක් අතර ගැටුමක් ඇති කරන්න උත්සහ ගැනීමක් විදිහට තමයි අපි මේ කතාව දකින්නේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළා , අධිකරණයේ නඩු කටයුතු සිදුකළා නමුත් තවම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද කියලා රටට හෙළි වෙලා නෑ. සමගි ජනබලවේග රජයක් තුළින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සම්පුර්ණ සොයාබැලිමක් සිදුකරලා වරදකරුවන්ට උපරිම දඩුවම් දෙන්න බැඳි සිටින බව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ ඒ ප්‍රකාශය පිළිබඳව අපි විශ්වාස කරනවා. ඒ සඳහා සියලුම සහාය සමගි ජන බලවේග ආණ්ඩුවක් තුළින් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

ජාත්‍යන්තර ණය හිමියන් ලබාදුන් macro-linked Bond කියන යෝජනාවට විකල්ප යෝජනාවක් රජය විසින් ඉදිරිපත් කරලා තිබෙනවා. භාණ්ඩාගාරය සහ මහ බැංකු නිලධාරීන් ජාත්‍යන්තර ණය හිමියන් සමඟ ලන්ඩන් වලදි ඒ සම්බන්ධයෙන් මුලික සාකච්ඡාවක් පවත්වලා තිබෙනවා. රටක් ලෙස ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර ගැනීමට හැකිවුණොත් ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගන්න හැකි වෙනවා. එහෙම උනොත් ණයවර ලිපි විවෘත කර ගැනීමට හැකි වෙනවා. ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ තිබෙන විශ්වාසය අන්තිම අඩියට වැටිලා තිබෙන්නේ. ණය පැහැර හරින්නන්ගේ ශ්‍රේණිගත කිරිම තමය ලංකාවට තිබෙන්නේ. එතනින් අපි උඩට ආ යුතුයි. එහෙම උනොත් තමයි ජාත්‍යන්තරයට ලංකාව කෙරෙහි විශ්වාසයක් ඇති වෙන්නේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉක්මනින් අවසන් කර ගන්න හැකිවුණොත් එය රටට සුභදායක දෙයක් වෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිමට පෙර ණය හිමියන් සමඟ සාකච්ඡා කරන්න විපක්ෂයට අවස්ථාවක් ලබාදෙන්න කියලා අපි දිගින් දිගටම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. එම සාකච්ඡාව වෙනුවට ජනාධිපතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවක් ලැස්ති කරන්න සුදානම් වුණා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්න අපට අවශ්‍ය නෑ. මොකද අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ අපි කොහොමත් සාකච්ඡා කරනවා. ණය හිමියන්ගේ එකඟතාවය ලබාගැනීමෙන් පසුව ඊළඟට එන ආණ්ඩුවට ණය ගෙවීමට සිදුවෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිමෙන් සිදුවන්නේ පරණ ණය වෙනුවට අලුත් ණය වලට එකගවීමයි. ණය ගෙවන්න එකගවෙනවා කියන්නේ එක අලුත් ණය ගෙවීමක්. ණය ගෙව්වේ නැත්නම් නැවත ණය පැහැර හැරීමක් සිදුවෙනවා. එහෙම කළොත් ලංකාවට දැවන්ත අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිම සංකීරණ වැඩපිළිවෙළක්. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිම සියලු දෙනාගේ එකඟත්වයකින් යුතුව සිදුකළ දෙයක්. එකඟවුණාට පස්සේ නැවත ණය හිමියන් සමඟ නැවත සාකච්ඡා කරලා සමාලෝචනය කිරිමට හැකියාවක් ලැබෙන්නේ නෑ. අපිට අවශ්‍ය වෙන්නේ රට වැටිලා තිබෙන තැනින් ගොඩගන්න. කවුරුන් හෝ රට යම් කිසි ස්ථාවරයකට ගෙනල්ලා තිබෙනවානම් අපි ඒ ගැන කුහක වෙලා වැඩක් නැ. අශ්‍ය වෙන්නේ එතන සිට රට නැවත ඉදිරියට ගෙනියන්න. දේශපාලන උවමනා තම නැවත රට කඩා වට්ටන්න අපිට අවශ්‍ය නෑ.

ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවට සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සමඟ විවාදයකට එන්න කියලා නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා 7 වතාවක් ආරාධනා කරලා තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවේ සුනිල් හඳුන්නෙත්ති , මහාචාර්ය අනිල් ජයන්න සහ මහාචාර්ය සීතා බණ්ඩාර සිටිනවා. සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුවේ කබීර් හෂීම් , ඉරාන් වික්‍රමරත්න සහ මම ඉන්නවා. කෙලින්ම අපි විවාදයකට එමු. වැදගත් රටවල එහෙම තමයි කරන්නේ. සමගි ජනබලවේගය කවදාවත් පුද්ගලිකව මඩ ගහන්නේ නෑ. අපිට ප්‍රතිපත්තිමය කාරණා ගැන සාක්ඡා කරන්න පුලුවන්. ණය හොරකම් කළා කියලා නිතරම ඔවුන් කියනවා. ඒ වගේම සෑම ණයක්ම විගණනය කරන්න ඕනි කියලත් ඔවුන් කියනවා. ඉන්පසුව ගෙවීම් ගැන සාකච්ඡා කරන බව තමයි ඔවුන් කියන්නේ. ණය නොගෙවා ඉන්නවා කියලා ජාතික ජන බලවේගය කියලා නෑ. ඔවුන් කියලා තිබෙන්නේ ණය ගෙවන්න පුලුවන් වෙලාවක ගෙවන්නම් කියලා.
මේ ප්‍රකාශ ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොලෝ අතිශයින් දොන්කාර දෙන වචන. මෙවැනි දේවල් ප්‍රකාශ කරද්දි රටක් ලෙස ඉදිරියට යන්න තිබෙන අවස්ථාවන් හැකිලෙනවා. ඒ නිසා දෙපාශ්වයට පුලුවන් සෘජුව රටේ ආර්ථිය සම්බන්ධයෙන් වාද විවාද කරන්න.

සමගි ජනබලවේගය ශක්තිමත් ව්‍යුහයක් රට පුරා හදාගෙන යනවා. අපේ කණ්ඩායම දැන් ශක්තිමත් ලෙස ඉදිරියට ගමන් කරනවා. ඕනෑම මැතිවරණයකට සමගි ජනබලවේගය සූදානම්. අපේ ප්‍රතිපත්ති පිළිගන්න කණ්ඩායම් සිටිනවානම් ඔවුන් පිළිබඳ සොයා බලා ඔවුන්ව එකතු කර ගන්න අපි සූදානම්. දුෂිතයෝ , වංචාකරුවන් සමඟ අපි කටයුතු කරන්නේ නෑ. සියලුම ශ්‍රී ලාංකිකයන් එකයි කියන මතය තමයි අපේ තිබෙන්නේ. අපි ජාතිවාදය , ආගම්වාදය අවුස්සන්නේ නෑ අවුස්සලා ඡන්දය අරගෙනත් නෑ”