ලෝක අරගල ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් සටහන් කරන්නට සමත්වෙමින් මෙරට පුරවැසි ජනතාව විසින් මීට වසරකට පෙර සිදු කළ සුවිශේෂී ජන අරගලය මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමු.

දෙවසරකට වැඩි කාලයක් තිස්සේ අදුරදර්ශි,උද්ධච්ච සහ අන්තනෝමතික පාලනය තුළින් රට බරපතළ ඛේදවාචකයක් වෙත තල්ලු වෙමින් තිබියදී ඊට එරෙහිව මෙරට සමස්ත සමාජය තුළද ආණ්ඩුවට එරෙහි බලවත් ප්‍රතිවිරෝධයක් ඉස්මතු විය.

එහි තීරණාත්මක අවස්ථාව වූයේ ගාලුමුවදොර දින අනූවක් සම්පූර්ණ වූ පුරවැසි අරගලයයි.

පැන්සලක් හෝ පින්සලක් සමග විරෝධතා පුවරුවක් පමණක් රැගෙන සාධාරණත්වයේ සහ මිනිස්කමේ නාමයෙන් උදාර අපේක්ෂා පෙරදැරිව  කරන ලද අරගලයෙහි අවසන් ප්‍රතිඵලය වූයේ අන්තනෝමතික ජනාධිපතිවරයාට අගමැතිවරයාට සහ එම ආණ්ඩුවට ගෙදර යෑමට සිදු වීමයි.එහෙත් මේ රටේ පුරවැසි ජනතාව ලබාගත් ජයග්‍රහණය ට මුවා වෙමින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වූ අතර ඉන් පසුව ද සිදුවෙමින් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ සිදු වූ තත්ත්වයටම සමාන හෝ ඊටත් වඩා ඛේදනීය තත්වයකි. පුරවැසි පරම්පරාවට එරෙහිව මර්දනයේ බයිනෙත්තුව හෝ තර්ජනයේ වහසිබස් දෙඩිය හැක්කේ කුරිරු ආඥාදායක මිලේච්ඡත්වයකට පමණි.

එහෙත් රාජපක්ෂ ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් විසින් එයද සිදු කරමින් තිබේ.

උසස් අරමුණු වෙනුවෙන්, මේ රටේ වීදිබට ජනයාගේ ශිෂ්ට සම්පන්න අපේක්ෂාවන් සමග උමතු ගැටුමක යෙදීමට වර්තමාන ආණ්ඩුව ද කටයුතු කරමින් සිටී.

විශේෂයෙන්ම අරගලයේ ඉදිරිපෙළ චරිත ඉලක්ක කර  ගනිමින් ආරම්භයේ සිටම ආණ්ඩුව මර්දනය දියත් කළ අතර එය මේ වන විට සිවිල් සමාජයටත්, මාධ්‍යයටත් දිගුවී තිබේ.

මේ රටේ ජනතා අරගලය,බලසම්පන්න  විධායක ජනාධිපතිවරයාත්, තුනෙන් දෙකක් ඇති බවට වහසිබස් දෙඩූ ආණ්ඩුවත් බිත්ති හතරක් මැද කොටු කිරීමට සමත් ව අනතුරුව,පලවා හැරීම හැරීම දක්වාම බලසම්පන්න වූ බව වර්තමාන ආණ්ඩුවට ද අවධාරණය කළ යුතුව තිබේ.

එදා අරගලය ආරම්භ වූ මොහොතේ සිට අරගලයේ අරමුණු සහ ඉලක්ක අපගේ අරමුණු සහ ඉලක්ක වලටද සමපාත වූ බැවින් ඔවුන්ගේ අරගලයට අපේ ආශිර්වාදය හිමි විය.

පාලකයින්ගේ කූඨ සහ බියගුළු අරමුණු වලට හසු නොවී කටයුතු කිරීමත්,අවිහිංසාව පෙරදැරිව කටයුතු කිරීමත් හේතුකොටගෙන පුරවැසි අරගලයේ ජයග්‍රහණයෙන් කෙළවර වූ නමුත්,ජයග්‍රහණය කුසලානය අනපේක්ෂිත රාජපක්ෂවාදීන් පිරිසක් විසින් පැහැර ගෙන තිබේ.එය නැවත ලබා ගැනීම උදෙසා අවිහිංසාවාදී පෙළගැස්මක් අවශ්‍ය බව මේ මොහොතේ අවධාරණය කරමු. 

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක