කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 දෙදිනේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතයි.

මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුතු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් මාර්තු 05 වන දා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා වෙත භාර දෙනු ලැබුවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට තීරණය කළා.