සංචාරක ක්ශේත්‍රයේ ප්‍රශ්න රැසක් විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවට ගෙනේ
ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායකතුමා අද(11) අසනු ලැබූ ප්‍රශ්නය –

මෙරටට විදේශ විනිමය උපයා දෙන කර්මාන්ත අතුරින් සංචාරක කර්මාන්තයට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8%ක පමණ දායකත්වයක් සංචාරක ක්ෂේත්‍රය මගින් සපයනු ලබන අතර, සමස්තයක් වශයෙන් ලක්ෂ 05කට ආසන්න සෘජු සහ වක්‍ර රැකියා ප්‍රමාණයක් මෙම ක්ෂේත්‍රය මත රඳා පවතී. ඒ අනුව, ලංකාවේ සංචාරක පාරාදීසයක් වන හික්කඩුව ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයේ දී ඉදිරිපත් කෙරුණු ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
රජය විසින් ආරුගම්බේ ප්‍රදේශය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි සංචාරක කලාප බිහි කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බවට තොරතුරු වාර්තා වේ. එම සැලස්මට හික්කඩුව ප්‍රදේශය ඇතුළත් කර නොමැති බවට ප්‍රදේශවාසීන් විසින් කරුණු පෙන්වා දේ. මීට පෙර ද හික්කඩුව ප්‍රදේශය සංචාරක කලාපයක් බවට පත් කරන මෙන් දේශපාලන අධිකාරිය මගින් ද, රාජ්‍ය ආයතන මගින් ද ඉල්ලීම් රැසක් සිදු කර ඇතත් එය මේ දක්වා ඉටු වී නොමැති බවට ද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පෙන්වා දී ඇත. 
හික්කඩුව ප්‍රදේශයේ බලපත්‍රලත් සංචාරක මගපෙන්වන්නන් ප්‍රමාණවත් නොවීම, සංචාරක කුලී රථ රියදුරන් සඳහා ප්‍රමාණවත් රථගාල් නොමැතිවීම මෙන්ම හික්කඩුව නගරය මැදින් දිවෙන ප්‍රධාන මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයන් ඉදිකිරීම ප්‍රමාද වීම, වර්ෂාපතනයන් හිදී මාර්ග ජලයෙන් යටවීම හා සංචාරක කටයුතු සඳහා පහසුකම් සපයන නිසි පරිපාලන යාන්ත්‍රණයක් නොමැති වීම ප්‍රධාන ගැටලු වේ. මෙම ගැටලු නිසා ප්‍රදේශවාසීන් මෙන්ම සංචාරකයින් ද බොහෝ අපහසුතා වලට ලක් වේ. එසේ හෙයින්, ආකර්ශණීය භූමි ප්‍රදේශයක් වන හික්කඩුව, සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කොට, විධිමත් භෞතික සැලැස්මකට අනුව දියුණු කිරීම තවදුරටත් ප්‍රමාද වීම හා රජය ඒ සඳහා ප්‍රමුඛතාවයක් ලබා නොදීම කනගාටුදායී තත්ත්වයකි.
ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.
 
01.  හික්කඩුව සංචාරක පුරවරයේ මතුව ඇති ගැටලු පිළිබඳව රජය දැනුවත් ද?
 
02.  ආරුගම්බේ ප්‍රදේශය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් ඇතුළත් කර ගනිමින් නව සංචාරක කලාප ස්ථාපිත කිරීමේ සුදානමක් රජය සතුවේ ද? එම කලාප තුළට හික්කඩුව ප්‍රදේශය ඇතුළත් නොවන්නේ ද? එසේනම්, එම සංචාරක කලාප ඇති කිරීමේ ව්‍යාපෘතිය සඳහා හික්කඩුව ප්‍රදේශය ප්‍රමුඛතාවක් ලෙස හඳුනා නොගැනීමට සුවිශේෂී වූ හේතු කවරේ ද?

 03.  හික්කඩුව ප්‍රදේශයේ දැනට හඳුනාගෙන ඇති අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම තුළ ඉදිරි වසර සඳහා කෙතරම් ප්‍රමුඛතාවයක් ලබා දී තිබේ ද? එසේනම්, ඒ කවරේ ද? හික්කඩුව ප්‍රදේශයේ ස්ථිර රථගාලක් ඉදිකිරීම, වෙරළ ඛාදනය වැළැක්වීමට හා මාර්ග ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා පියවර ගැනීම යන කරුණු ඉදිරි සංවර්ධන සැලසුම සඳහා ඇතුළත් වේ ද? 

04.  හික්කඩුව නගරය හරහා දිවෙන ප්‍රධාන මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක් සකස් කර සංචාරක පුරවරය තුළ වාහන තදබදය අවම කිරීමේ කඩිනම් සැලසුමක් රජය ක්‍රියාත්මක කරන්නේ ද? ඒ සඳහා වැඩපිළිවෙලක් තිබේනම්, එහි ප්‍රගතිය කෙසේ ද?

05.  සංචාරකයින්ගේ පැමිණිම තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති බැවින්, සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන පිරිස් වලට ණය වාරික හා ලීසිං වාරික ගෙවීම සඳහා තවදුරටත් සහන කාලයක් හෝ සහන පැකේජයක් ලබා දීමට රජය කටයුතු කරන්නේ ද? නොඑසේනම්, ඒ මන් ද?
 
06.  බලපත්‍රලාභී සංචාරක මගපෙන්වන්නෙකු වීමට අවශ්‍ය පුහුණු වැඩසටහන් පවත්වා නොමැති බවට මොවුන් දුක් ගැනවිලි ඉදිරිපත් කරනු ලබයි. ඒ සඳහා නියමිත පුහුණුව ලබා දී බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමේ සැලසුමක් රජය සතුවේ ද?

 සජිත් ප්‍රේමදාස (පා.ම.)
විපක්ෂ නායක