මැතිවරණය ඉලක්ක කර ගෙන තමන්ට හිතවත් පුද්ගලයන්ගෙන් සමන්විත කමිටු හදමින් එක් පළාත් පාලන ආයතනයකට රුපියල් මිලියන 10 බැගින් පළාත් පාලන ආයතන 341කට මිලියන 3410ක් වෙන් කරන කරමින් රජය සිදු කිරීමට නියමිත මහා මුදල් නාස්තිය නතර කර ඒ මුදල් උපයෝගී කර ගෙන මෙරට රජයේ පාසල් 10126න් පාසල් 3400කට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර 1 බැගින් ලබා දිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා මෙි බව කියා සිටියේ රජය විසින් පළාත් පාලන ආයතන කමිටු ඇති කර එම එක් කමිටුවකට රුපියල් මිලියන 10 බැගින් වෙන් කරමින් සිදු කිරීමට සැරසෙන මහා මුදල් නාස්තිය සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

ප්‍රදේශීය ලේකම් හා දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශිය සංවර්ධන, දිස්ත්‍රික් සංවර්ධන හා කෘෂිකර්ම කමිටු ආදී කමිටු රැසක් තිබිය දී නව කමිටුවක් සකස් කරන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතින බවත් බංකොලොත් රටේ මෙවැනි අවිධිමත් ආකාරයට කටයුතු කළ නොහැකි බවත් මේ මුදල් නිසි පරිදි කළමනාකරණය කළ හොත් මෙරට පාසල් 10126 තුළට සුහුරු පන්ති කාමර විශාල ප්‍රමාණයක් ලබා දිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

ගම් 14022ටම කමිටු ඇති බවත් එවැනි කමිටු තිබියදී ජනාධිපතිවරණයක් හා මහමැතිවරණයක් අතලග තියා ගෙන කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් මේ සඳහා වෙන් කරන මුදල් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දී සුහුරු පන්ති කාමර ආදිය ලබා දිය හැකි බවත් එවැනි ඵලදායී කටයුත්තක් සිදු නොකරන්නේ නම් මෙය අභියෝගයට ලක් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිපාදන නොමැති බව සදහන් කරමින් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට රජය කටයුතු කළත් පළාත් පාලන බල ප්‍රදේශ ආවරණය වන පරිදි ප්‍රජා උපදේශක කමිටු පිහිටුවා රජයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ අරමුණින් ආණ්ඩුවේ මැතිවරණ කටයුතු මෙහෙයවීමට රජය සැරසෙන බව පෙනී යන බවත් මෙම කමිටු පිහිටුවීමට ආණ්ඩුකාරවරයාට බලය ලබා දෙමින් අත්තනෝමතිකව හා ජනතා විශ්වාසය කඩවන අයුරින් රජය කටයුතු කර ඇති බවත් මෙවැනි ක්‍රියාවක් කිරීමට ආණ්ඩුව දරණ ලද ප්‍රථම උත්සාහය මෙය නොවන බවත් මීට පෙර ද පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්ට මෙවැනි බලයක් ලබා දීමට කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද මීට පෙර ප්‍රයත්නය හකුලා ගත්තේ නඩු මගට පිවිසීමෙන් බවත් පැෆ්රල් සංවිධානය පවා කියා ඇත්තේ මෙම කටයුතු ජනාධිපතිවරණ මැතිවරණ ඉලක්ක කර ගෙන සිදු කරන දේශපාලන කටයුත්තක් බවත් මෙය මහජන මුදල් අවභාවිතයක් හා අත්තනෝමතික ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

අගමැතිවරයාගේ අත්සනින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය නොවැම්බර් 4 දක්වා දීර්ඝ කර ඇති බවත් එය ස්ථාපනය කරන්න මාස 6කට පෙර සිට කටයුතු කළ බවත් නීතිය අනුව ආණ්ඩුවට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය පැවැත්විය හැකි වුවත් පළාත් පාලන ඡන්දය නොතියා තමන්ගේ හිතවතුන් පත් කිරීමට කමිටු ඇති කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.