පැන්ඩෝරා පත්‍රිකා මගින් කළු සල්ලි සුදුකළ බලවතුන් හෙළිවී තිබෙනවා. ඒ අතර, රාජපක්ෂ පවුලට ඉතාමත් සමීප නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියාගේ නම් ඇතුළත්වී තිබෙනවා.

එදා වේල කන්න යමක් හොයාගන්න පොර බදන මිනිසුන් ඉන්න රටක රටේ ප්‍රධානතම දේශපාලන පවුලකට අයත් පුද්ගලයින් මේ ආකාරයෙන් ඩොලර් මිලියන ගණනින් උපයා ගත්තේ කෙසේද? ඒ මුදල් කාගේද? යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. දේශපාලකයින් විසින් තට්ටු මාරු ක්‍රමයට ජනතා ධනය හොරා කමින් ඒ හොරුන් ආරක්ෂා කිරීමට කටයුතු කරන නින්දිත දේශපාලන සංස්කෘතිය අවසන් කරන තුරු මේ රට ගොඩ ගැනීමට හැකි වෙන්නේ නෑ.

එදා පැනමා පත්‍රිකා මගින් හෙළිවූ කරුණු වලට එරෙහිවද ලංකාව තුළ නිසි පරීක්ෂණයක් සිදු නොවූ අතර අද පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිවූ කරුණු පිළිබඳව නිසි පරීක්ෂණයක් කරාවියැයි විශ්වාසයක් අපි කිසිවෙකු තුළ නෑ. එවැනි, විශ්වාසයක් ජනතා හදවත් තුළ ගොඩනැගෙන රටක් නිර්මාණය කිරීම නියම නායකයෙකුගේ ලක්ෂණයක්.

20 වන සංශෝධනය මගින් අල්ලස් කොමිසමට සාමාජිකයින් පත්කිරීමේ සහ සමාජිකයින් ඉවත් කිරීමේ සියළු බලතල ජනාධිපතිවරයා විසින් පවරා ගැනීම තුළ එවැනි සාධාරණයක් ඉටුවේයැයි කෙසේ විශ්වාස කරන්නද? රංජන් රාමනායක මහතා, වරක් කියූ කතාවක් මේ සඳහා මට සිහිපත් කළ හැකියි “මේ ගොල්ලෝ ඔක්කොම යාළුවෝ මල්ලි”. ඒ කතාව ඇත්ත. බලයේ සිටින්නේ කුමන පක්ෂය වුවත් එක්තරා කණ්ඩායමක් හොරා කෑම වෘත්තියක් බවට පත්කරගෙන ති⁣බෙන අතර ඔවුන් එකිනෙකා ආරක්ෂා කරගන්නා ක්‍රමයක් ඔවුන් ගොඩනගා ගෙන තිබෙනවා. මේ ක්‍රමය අවසන් කරන තුරු මේ රට ගොඩ ගන්න බෑ. මේ සංස්කෘතිය නිර්මාණය කිරීමට මේ රටේ ජනාධිපතිකම් අගමැතිකම් දැරූ ඇතැම් අවස්ථාවාදී නායකයින් වගකිව යුතුයි.

මෙම සටහන උපුටා ගත්තේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ Facebook පිටුවෙන්.