මේ රටේ තරුණයන් දැවැන්ත යුග පෙරළියකට නායකත්වය ලබාදුන් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රට ආගාධයට දැමූ ජනාධිපතිවරයා පලවා හැරීමට හැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කෙසේ වෙතත් ඒ දැවැන්ත යුග පෙරළිය සහ ජන අරගලය දියත් කළ තරුණ පරම්පරාවට එරෙහිව රාජ්‍ය මර්දනය දියත් වෙමින් පවතින බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා ආණ්ඩුව ඔවුන් දඩයම් කරමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව අද වන විට තරුණයින්ව දඩයම් කරන යුගය බිහි වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ මොහොත වන විට වසන්ත මුදලිගේ ඇතුළු කිහිප දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව කටයුතු යොදා ඇතැයි ද පැවැසීය.

තම තමන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කිරීමේ වරදට තරුණයින්ට එරෙහිව ආණ්ඩුව සලකන්නෙ මෙසේ දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා, වහාම රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ඉවත් වන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බවද පැවසීය.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුතම අර්බුදයන්ට විසඳුම් සෙවීමේ අරමුණ පෙරදැරි කරගෙන නුතනවාදී ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා මහජනතාව විසින් ඉල්ලා සිටිනු ලබන සමාජ පරිවර්තනය උදෙසා එකඟතාවයක් ඇතිකර ගැනීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික වැඩපිළිවෙළ ස්ථාපිත කර ඇති අතර ඊට අනුබද්ධව අද (22) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී  තරුණ  ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

තරුණ සංවිධාන නියෝජිතවරුන්, දේශපාලනඥයින්, අධ්‍යාපනඥයින්, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ. මෙම කාර්‍යයට අනුබද්ධ ප්‍රතිසංස්කරණ සඳහා මහලේකම් කාර්යාලයක්, විපක්ෂ නායක කාර්යාලයේ දී  විවෘත කරනු ලැබ ඇත.

අසාධාරණයට අයුක්තියට සහ මර්දනයට එරෙහිව නැගී සිටින තරුණ ප්‍රජාව සමග සමග සමගි ජන බලවේගය ද එකට එකතු වන බව වැඩිදුරටත් ඒ මහතා පැවසීය.