ඔක්තෝබර් 4 වන දිනට යෙදෙන ලෝක ජනාවාස දිනය වෙනුවෙනි

ශ්‍රීලංකාවේ නයකයෙකුගෙ හඬට ලෝක නායකයන් සියල්ල එකාවන්ව කන්දුන් අවස්ථා ඉතා විරලය. එවැනි අවස්ථාවක් අපට මුලින්ම හමුවන්නේ 1951 වසරේදීය. ඒ ජපානයට සමාව ලබා දිය යුතු බවට හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන ගෙන ආ යෝජනාවට මුලු ලෝකයම එකඟවීමය. නැවත එවන් අවස්ථාවක් හමුවන්නේ 1986 දීය .ඒ ලෝක ජනාවාස දිනය සහ ජගත් නිවාස වසර නම් කිරීමට එවකට අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස ගෙන ආ යෝජනාවට ලෝකයම එකඟවීමය. මේ නිවාස ජනතාවට නිවාස ලබාදීමේ “ප්‍රේමදාස චින්තනය” ගැන කරනා විපරමකි.

1985 වසරේ දී ජැමෙයිකාවේ කිංස්ටන් හි දී පැවැති එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම් සැසිවාරයේ දී එවකට අග්‍රාමාත්‍ය දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් මත පදනම්ව එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක ජනාවාස දිනය 1986 වසරේ සිට අඛණ්ඩව නිවාස හා ජනාවාස අංශයට අදාල විවිධ වූ තේමාවන් යටතේ සැමරුම් සිදු කරනු ලබයි.

ලෝක ජනාවාස දිනයේ අරමුණ නම් ප්‍රමාණවත් නිවසක් සඳහා සියලු දෙනාට හිමි මූලික අයිතිය පිළිඹිමු කිරීඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1985 වසරේ දී සිය 40/202 යෝජනාව මගින් ලෝක ජනාවාස දිනය සම්මත කරන්නට යෙදුනු අතර එය ප්‍රථම වරට 1986 වසරේ දී සමරන ලදී.

සෑම වසරක දීම එක්සත් ජාතීන් විසින් ජනාවාස න්‍යාය පත්‍රයට අදාල වත්මන් ගැටළු මත පදනම්ව තෝරා ගනු ලබන නව තේමාවක් යටතේ ලෝක ජනාවාස දිනය සැමරීම සිදු කරනු ලබයි. සැමට ප්‍රමාණවත් නිවසක් සහතික කරන තිරසාර සංවර්ධන ප්‍රතිපත්තීන් ප්‍රවර්ධනය කිරීමේ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ අරමුණ සාක්ෂාත් කිරීම සඳහා මෙම තේමාවන් තෝරා ගනු ලබයි.

“1989 රණසිංහ ප්‍රේමදාස රජයේ නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙරට නිවාස කේෂ්ත්‍රයේ වැඩි දියුණු කිරීමට කටයුතු කළ ආකාරය සිය මතකයට නැගෙන බව නිවාස අමාත්‍යංශය සම්බන්ධයෙන් වූ විවාදයකට එක්වෙමින් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් පැවසීය.

එවකට තිබූ නිවාස දෙපාර්තමේන්තුව නිවාස සංවර්ධන අධිකාරිය බවට පරිවර්තනය කොට ඒ හරහා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉතාම වේගවත් වැඩ කොටසක් ආරම්භ කළ බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඒ පිළිබඳව ජාත්‍යන්තරයේ ද අවධානය යොමු වූ බව සඳහන් කරයි.

ලෝක ජනාවාස දිනය, ජාත්‍යන්තර නිවාස වර්ෂය ලෙස නම් කිරීමේ දී ලොව රටවල් රණසිංහ ප්‍රේමදාස රජයේ නිවාස සම්බන්ධයෙන් වූ යෝජනා සැලකිල්ලට ගත් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙන ලදී.

එහි ආරම්භක සැමරුම 1986 වසරේ ක්‍රියාත්මක වූයේ ‘නිවස මගේ අයිතියකි‘ නම්වූ තේමාව යටතේය. මෙකී කාලපරිච්ඡේදය තුළ ලොව ප්‍රමුඛතාව වූයේ, ජීවත්වන නිවෙසේ අයිතිය ලබා ගැනීම කෙරෙහි යොමු කිරීමයි.

ප්‍රේමදාස ජනාධිපතිතුමන් තම ප්‍රථම අමාත්‍යමණ්ඩල පත් කිරීම් වලදී, එතුමන් භාරයේ කලින් පැවති නිවාස අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තෝරාගෙන තිබුණෙ ඉමිතියාස් බාකිර් මාකර් මහතාය. එම තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරුව, ජනාධිපති මන්දිරයේ එතුමන්ගේ කාර්යාලයට කැඳවූ ප්‍රේමදාස ජනාධිපතිතුමන්, කළ ප්‍රකාශය තමාට කිසි දිනෙක අමතක නොවන බව ඉමිතියාස් බාකිර් මාකර් හිටපු අමාත්‍යතුමා පවසයි .

“දන්නවද ලැබී තිබෙන අමාත්‍යාංශය?” එතුමන් විමසා සිටියේය. “ඔව්” යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය. “මගේ අමාත්‍යාංශය දීලා තියෙන්නේ.” ඔහු සිනාසෙමින් පවසා සිටී.
නිවාස අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යවරයා සිරිසේන කුරේ මහතාය. ඉමිතියාස් බාකිර් මාකර් මහතා රාජ්‍ය අමාත්‍යවරයා විය.

“මුලින්ම එන්නේ මහියංගන ගම් උදාව. මැති ඇමැතිවරු පයගහලා නැති ගම්මාන එහෙ තියෙනවා. ඉම්තියාස්, මට කැපවීම ඕනේ. ඒ මිනිසුන්ගේ කඳුළු නිවන්න උපරිමය කරන්න හිතට ගන්න.”ඒ ජනාධිපති ප්‍රේමදාස මහතාගේ වචන වලින් කියැවිණි. ඒ වචන එන්නේ ඔහුගේ හදවතින්ම බව මට දැනුණි.

ප්‍රේමදාසයන් ගැන සිහිපත්වන ඇතැම් විටෙක මේ වචන මගේ දෙසවන්වල දෝංකාර දෙනු මට ඇසේ. පුංචි මිනිසුන් සවිමත් කරන්නටත්, ශ්‍රී ලංකාව සංවර්ධිත දේශයක් කරන්නටත් දැඩි අධිෂ්ඨානයක් සහ පුදුම කැපවීමක් තිබූ අව්‍යාජ නායකයකු ලෙස එතුමන් දකින බව ඉමිතියාස් බාකිර් මාකර් මහතාගේ අදහසයි. පොල්අතු පැලක, මැටි නිවසක, ලෑලි ගෙදරක, මුඩුක්කු නිවසක වැස්සට නිසි ආවරණයක් අහිමිව, හරි හැටි නින්දක් නොලබන දරු පවුල්වල ජීවිත ගැන දැඩි ලෙස සංවේදීවූ නායකයා ඔහු විය.

පුංචි නවාතැනක ඉඩකඩ නොමැතිවූ නිසා, මව්පියන්, දරුවන් සහ පවුල් කිහිපයක් මාරුවෙන් මාරුවට නිදාගන්නාවූ පවුල්වල දුක්බර ජීවිත ගැන ප්‍රමුඛ අවධානය යොමු කළ නායකයා ඔහුය. පූට්ටු ගෙවල්, අත්කම් නිවාස, නිවාස ලක්ෂය, නිවාස දස ලක්ෂය, නිවාස පහළොස් ලක්ෂය සහ ජාත්‍යන්තර නිවාස වර්ෂය ඔහු හඳුන්වා දුන්නේ ඒ කඳුළු නිවන්නටය.මේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වූ ලක්විජය පලන්සූරියගේ අනුස්මරණීය මතකයන්ය.

එදා ප්‍රේමදාස මහතා විසින් ජන සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළ ආකාරය, එය තම වැඩසටහනක් ලෙසින් ජනතාව වැලදගත් අයුරු, එකී වැඩසටහන ජාත්‍යන්තර කීර්තිය හිමිකර ගැනීම සහ එදා මහජන නියෝජිතයෙකු ලෙසින්, ඒ සදහා තම සහභාගිත්වය පිළිබඳ ඇත්තේ සුවිශේෂී වටිනාකමක්.

ජනතාව දැඩිලෙසින් වැළදගත් ජනසහභාගිත්ව නිවාස සංවර්ධන වැඩසටහන ප්‍රේමදාස මහතාගෙන් පසු, නිවාස අමාත්‍ය ධූරයට පත් කිසිදු අමාත්‍යවරයෙක් වෙනස් නොකර, පවත්නා රජයේ ප්‍රතිපත්තින්ට අනුගත වෙමින් ක්‍රියාත්මක කළ බව පෙන්නුම් කරනු ලැබිණි.

සිදුවිය යුත්තේ අතීතය විවේචනය කිරීම පසෙක තබා එයින් පාඩම් උගෙන වත්මන සහ අනාගතය සැකසීමයි.

“යමෙක් ආහාර දුන්නේ නම් ඔහු ශක්තිය දුන්නා වේ
යමෙක් වස්ත්‍ර දුන්නේ නම් ඔහු වර්ණය දුන්නා වේ
යමෙක් වාහන දුන්නේ නම් ඔහු සැප පහසුව දුන්නා වේ
යමෙක් නිවසක් දෙන්නේ නම් ඔහු සියල්ල දුන්නා වේ” – ධම්මපදය