ප්‍රේමදාස, ගාමිණි දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, ජේ ආර් ජයවර්ධන වැනි නායකයින් මහවැලි ව්‍යාපෘතියක් , ගම්උදාවක් , ඇඟලුම් කර්මාන්ත වැනි ව්‍යාපෘති හරහා මෙරටට දැවැන්ත සේවාවක් ඉටු කල බවත් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගත් පසු එවැනි කිසිඳු නායකයෙක් බිහිකිරීමට අසමත් වූ බවත් සුජීව සේනසිංහ මහතා පැවසීය.

ඔහු කියා සිටියේ අසාර්ථක මහජන රැලි පවත්වමින් එස්ලා ,ඩඩ්ලිලා ගැන කතා කරන රනිල් වික්‍රමසිංහට වසර තිහක් තුල එකඳු මැතිවරණයකින් හෝ එක්සත් ජාතික පක්ෂය දිනවීමට නොහැකි වූ බවත් වසර 30කට පෙර අක්‍රීය වූ මහවැලි ව්‍යාපෘතිය , ගම්උදාව , ඇඟලුම් කර්මාන්තශාලා ඇති කිරිමට එහා ගිය ව්‍යාපෘති බිහිකර රට දියණු කිරීමට හැකි සැලැසුම් ක්‍රියාත්මක කිරීමට සමඟි ජන බලවේගය සුදානම් බවයි.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට සහබාගී වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා මෙසේ ද පැවැසීය,

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කුලියාපිටිය ජන රැළියේදී ඩීස්. එස්ලා ,ඩඩ්ලිලා ගැන කතා කළා. ඔහුට කිසිදු අයිතියක් නෑ ඩීස්.එස්ලා ,ඩඩ්ලිලා ගැන කතා කරන්න. ඔවුන් ගැන කතා කරන්න අයිතිය තිබෙන්නේ අපිට. ඔවුන්ගේ නමට සහ එක්සත් ජාතික පක්ෂයට කැළලක් කළේ රනිල් වික්‍රමසිංහ. 1994 න් පසුව ප්‍රේමදාස කෙනෙක් , ගාමිණි දිසානායක කෙනෙක් , ලලිත් ඇතුළත්මුදලි කෙනෙක් , ජේ ආර් කෙනෙක් බිහිකරන්න රනිල් වික්‍රමසිංහට බැරි වුණා. 1994 න් පසුව මහවැලි ව්‍යාපෘතියක් , ගම්උදාවක් , ඇඟලුම් කර්මාන්තයක් ඇතිකරන්න අවස්ථාවක් ලැබුනේ නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දක්ෂයින්ට කවදාවත් තැනැක් දුන්නේ නෑ. ඔහු මූලිකත්වය දුන්නේ ඔහුගේ ගෝලයන්ට. රට සංවර්ධනය කරන්න පුලුවන් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බිහි කළේ නෑ.

අවුරුදු 30 ක් තුළ ඡන්ද 6 ක් , ජානාධිපතිවරණ 6 ක් පැවැත්වුවා. ඒ මැතිවරණ කිසිවක් තුළ එක්සත් ජාතික පක්ෂය දිනවන්න රනිල් වික්‍රමසිංහට හැකියාව ලැබුනේ නෑ. ඔහුගේ දේශපාලනය බිංදුවට බැස්සට පස්සේ තමයි නැවත දේශපාලනය ආරම්භ කරන්නේ.

මහවැලි ව්‍යාපෘතිය , ගම්උදාව , ඇඟලුම් කර්මාන්තශාලා ඇති කිරිමට එහා ගිය ව්‍යාපෘති බිහිකරලා රට දියණු කරන්න හැකි සැලැසුම් සමගි ජනබලවේගය විසින් නිර්මණය කරලා තිබෙනවා. දැනට රට ගොඩනගන , ජනතාවට සහන දෙන සහ ජනතාව ජීවත් කරවන සැලසුම් 30 ක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ අනුව රට ගොඩගන්න හැකි ශක්තිය ලබාදෙන්න සමගි ජනබලවේගයේ කණ්ඩායම සුදානම්.‘‘