මාගේ රට දියුණු වෙමින් පවතින රටකි,
මා පහ ශ්‍රේණියේ සිංහල විෂයට “මගේ රට” ගැන ලියපු රචනය අද දින මතක් විය.
එහෙත් අවාසනාවකට අදත් මට කිව හැක්කේ මගේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් කියා පමණි.
මෙයට තට්ටු මාරු දේශපාලනය තුල ප්‍රතිපත්ති වෙනස් නොකරපු සියලු දේශපාලකයන් වග කිව යුතුය.
මා අතීතයට ශාප කිරීමට වැඩිය කැමත්තක් නැත.එහෙත් අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන වර්තමානය සකසා ගත යුතුයි කියන තැන නියෝජනය කරමි.

වර්තමාන ආණ්ඩුව විශාල ජනවරමකින් මෙරට බලය ලබාගත් මෑත කාලයේ බිහිවූ බලවත්ම ආණ්ඩුව බව නොරහසකි.

ආණ්ඩුව බලවත් උවත් ජනවරම ලබාගත් දා සිට එහි බලවත්කමක් ගෙවුනු වසර දෙක පුරාවටම මා තරුණයෙකු ලෙස නොදුටුවෙමි
           බහුතරයක් ජනතාව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ජයග්‍රහණය කරවා ඒ තුලින් වෙනසක් අපේක්ෂා කලේය.
එහෙත් අවාසනාවකට සෞභාග්‍යය උදා කරනවා වෙනුවට රටම ගල් යුගයකට ඇද දමන්න මේ ආණ්ඩුව පාර කැපුවා යන්න
අද රටම පිළිගෙන හමාරය.
අතිතයේ මෙරට තිබුණු සලාක ක්‍රමය,
පෝලිම් යුගය යලි මෙරට බිහිවෙමින් අැත.
ලෝකයේ අනෙක් රටවල් විද්‍යාව හා තාක්ෂණය මුල්කරගෙන ඉදිරියට යද්දි වෙනසක් අපේක්ෂා කල අපේ රට මිත්‍යාව විශ්වාස කරමින් මැතිනියගේ යුගයට ගමන් කල යුතු බවට වර්තමාන ආණ්ඩුවේ පාලකයන් වහසිබස් දොඩමින් ඇත.
ඒ නිසා වර්තමාන යුගය ගල් යුගය යනුවෙන් හැඳින්වීමට මා හට අයිතියක් ඇත.

සෞභාග්‍යයේ දැක්ම ලියපු මිනිස්සුම අද ආණ්ඩුවට දෙහි කපමින් වර්තමාන පාලනය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් සීටී.
වියත්මග නිර්මාණය කරන්න මූලික උන වියත්තු ආණ්ඩුවේ අදූරදර්ශි පාලනය ප්‍රතික්ෂේප කරමින් රට හැරදා යන්නට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට පෝලිම් වලට සිටිනු පසුගිය දවස් වල දුටිමි.
වීසා අරන් ඡන්දේ දෙන්න පැමිණී ශ්‍රමිකයන් සමාජ මාධ්‍ය හරහා වර්තමාන ආණ්ඩුවට දැඩි ලෙස විරෝධයක් පලකරමින් සිටී.
එපමණක් නොව සංඝරත්නය ප්‍රධාන පූජක පාර්ශවය,සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්,
වෘත්තීය සමිති විපක්ෂ දේශපාලකයන් හා ජනතාව අතරත් වර්තමාන ආණ්ඩුව ඉතා ඉක්මනින් අප්‍රසාදයට පත්වූ නිසා විසඳාගත නොහැකි ගැටලු රැසක් මත උඩුදුවමින් ලිහා ගත නොහැකි මකුළු දැලක පැටලී ඇත.
අර්බුදයක් නිර්මාණය කරමින් බලයට පැමිණී වර්තමාන ආණ්ඩුව බලයට ගේන්න කැපවුන සියලු පාර්ශවයන්ගේ අප්‍රසාදය මත අවසන් හුස්ම හෙලමින් ඇත.

වර්තමාන ආණ්ඩුව බලයට ආවේ ජාතිවාදය ආගම් වාදය වපුරමින් පහුගිය යහපාලන ආණ්ඩුව විකුණූ විදේශ සම්පත් යලි පවරා ගන්වාය,මහ බැංකුව මහ දවල් කඩපු හොරු අල්ලනවාය,පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ජනතාවට සාධාරණය ඉටුකරනවාය,
බඩු මිල අඩු කර ජීවන බර සැහැල්ලු කරනවාය,රුපියල ශක්තිමත් කරනවාය,ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවාය,මාධ්‍ය නිදහස සුරක්ෂිත කරනවාය වගේ ලස්සන මාතෘකා ගොඩක් සමාජ ගතකරමිනි,එහෙත් අද ජනාධිපතිවරණය නිමාවී අවුරුදු දෙකකට අාසන්න වී ඇත.

නමුත් රටේ ඉහලින් කී කිසි ප්‍රශ්නයක් රට තුල විසඳී නැත,විදේශ රටවල් වලට විකුණූ සම්පත් දේශීයකරණය කරනවා වෙනුවට රටේ වර්තමානයේ පවතින ඩොලර් හිඟයට තාවකාලික පැලැස්තර අලවමින් රෑ දොළහටත් රටේ සම්පත් ඇමෙරිකාවට විකුණන තත්වයට අද අපේ රට පත්ව ඇත.
මහ බැංකුව කඩපු ප්‍රධාන චූදිතයාට විශ්‍රාම වැටුපක් හදන්නට තරම් වර්තමාන ආණ්ඩුව  සංවේදී විය,මහා බැංකු වංචාවේ වැරදි කරුවන්ට දඩුවම් කරන්න බලය ඉල්ලපු වර්තමාන ආණ්ඩුව රුපියල් කෝටි 15,900ක් සීනි බදු වංචාවෙන් වැඩ ඇල්ලීය,
ශක්තිමත් කරනවාය යැයි පැවසූ රුපියලට සාපේක්ෂව ඩොලරය අහස උසට ගමන් කරමින් සිටී,පාන් ගෙඩියක් මිලට ගන්න විල්බැරෝවක සල්ලි ගෙනියන්න වෙන දවසකට පාර කපමින් දිනකට වැඩිම සල්ලි අච්චු ගහන රට බවට අපේ රට පත්වෙමින් ඇත,ගෑස් කිරිපිටි සීනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා වැඩි මිලක් පනවා ජනතාවගේ කුසගින්න වේලකට සීමාකර ඇත.පාස්කු ප්‍රහාරය පෙන්වා බලය ඉල්ලූ ආණ්ඩුව මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන්ට දෙහි කපන්න පටන් ගෙන ඇත.මෙවනි කරුණු කාරණා මත වසර දෙකක් යන්නට මත්තෙන් ආණ්ඩුවේ ඉරණම ආණ්ඩුව විසින්ම ලියාගෙන අවසන්ය.

වර්තමාන ආණ්ඩුව හොදටම කරපු එක දෙයක් ඇත.ඒ ශ්‍රි ලාංකීය කෝටි දෙකකට ආසන්න ජනතාවට මෙරට දේශපාලනය සදහටම එපා කිරිම පමණයි.

ශ්‍රි ලාංකීය දේශපාලනයේ තීරණාත්මක නිල ජනාධිපතිවරණ මැතිවරණය එළඹෙන්නට නියමිතව ඇත්තේ 2024දීය.
එහෙත් පවතින තත්වය හා සසඳා බලද්දි කල්තියා ප්‍රධාන මැතිවරණයකට මුහුණ දෙන්නට මෙරට ජනතාවට සිදු වේවිද යන්න කතා බහක් වර්තමානයේ වටින් ගොඩින් ඇහෙන්නට පටන් ගෙන ඇත.
වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය මත 2024දී මෙරට කිසිදු දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට ජාතිය,ආගම විකුණා සුරංගනා කතා කියා බලය ලබාගන්නට කිසිසේත්ම හැකියාවක් නොලැබෙනු ඇත.
ඒ අනුව අනිවාරෙන්ම 2024දී ⁣ආර්ථිකය,
සෞඛ්‍යය,ප්‍රවාහනය,අධ්‍යාපනය වැනි ප්‍රතිපත්ති මත ගැටෙන දේශපාලනයකට අවතීර්ණ වන්නට ජනාධිපතිවරණ අපේක්ෂකයන් හට සිදුවනු ඇත.
තවද මෙරට ඩොලර් හිඟයට විසඳුම්,
ආර්ථික කළමනාකරණයට තිරසාර වැඩපිලිවෙලක්,තරුණ රැකියා ගැටලුවට ස්ථීර විසඳුම්,භාණ්ඩ මත පනවා ඇති අධික බදු බර නිසා පීඩා විදින ජනතාවට සහන වගේ කරුණු කාරණා පිළිබඳ වැඩි අවධාණයක් යොමු කිරීමට සිදුවනු ඇත.

තරුණයන් විදියට අපිට හෙට වෙනුවෙන් අද වගකීමක් නිර්මාණය වී ඇත,ඒ තව දුරටත් ජඩ මාධ්‍යයට අවශ්‍ය විදියට හුලං පුම්බලා පාට උලලා ලස්සන කරපු නූල් වලින් නටවන රූකඩ පාලන තන්ත්‍රයේ මුල් පුටුවලට පත්වීම වලක්වා ගැනීමයි.
ජනතාවගේ දුක හදුනන,ජනතාවගේ ජීවන බර දැනෙන,සියලු ආගම් ජාතීන් සමග සමානාත්මතාවයෙන් කටයුතු කල හැකි, වර්ගවාදි අර්බුද නැති,ආර්ථික දැක්මක් ඇති, රටේ සියලු අංශ කෙරෙහි එක හා ඇල්මක් දක්වන,ප්‍රායෝගික සැලසුම් සහිත දිගුකාලින සංවර්ධිත ඉලක්ක ලගා කරගත හැකි ප්‍රතිපත්තියක් සහිත පාලකයෙක් තෝරා ගැනීම අනාගත තාරුණ්‍යයේ වගකීම ලෙස මා දකිමි,එසේ නොවන්නට තවත් පරම්පරා ගණනාවක් යන තුරු අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස හංවඩු ගැසීමට සිදුවනු අැත.

මතු පිටින් සරුවට කොල වැඩුනු පොළොව යට නිසරුවට අල බැහැපු කැරට් අල වෙනුවට – මතුපිටින් නිසරුවට කොල හැදුනු පොළොව යට සරුවට අල බැහැපු කැරට් අල වගා ගොවියන්ට බොහෝ අවස්ථා වල ලැබෙනු ඇත.ඒ නිසා මතු පිටින් ඕනම දෙයක වටිනාකම තක්සේරු නොකර තව දුරටත් රැවටිම පසෙකලා පොත්ත මතු පිටින් දකින චරිත වෙනුවෙන් නොව ප්‍රතිපත්ති හා දැක්ම ජයග්‍රහණය කරවා සංවර්ධිත රටක් වෙනුවෙන් තරුණයෝ ඉදිරියට ආ යුතුයි.

හර්ෂ චතුරංග සඳරුවන් –
මොණරාගල දිස්ත්‍රික් තරුණ කටයුතු ලේකම්
සමගි තරුණ බලවේගය

මේඝ