සර්වෝදය සමාජ සංවර්ධන සමාජ සුබසාධන ව්‍යාපෘතියේ නිර්මාතෘ ඒ. ටී. ආරියරත්න මහතාගේ මේ හදිසි වියෝව සම්බන්ධයෙන් ශෝකයට පත්වන බවත් දුක්විඳි අහිංසක ජනතාව සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ දී අද්විතීය නිර්මල මෙහෙවරක් ඉටු කළ පොදු ජනතා පුත්‍රයෙක් රටට අහිමි වීම බරපතල පාඩුවක් බවත් එතුමාට අතිඋතුම් නිර්වාණය ප්‍රාර්ථනා කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අභාවප්‍රාප්ත සර්වෝදය නිර්මාතෘ ඒ. ටී. ආරියරත්න මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්වූ අවස්ථාවේදීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඒ. ටී. ආරියරත්න මහතාගේ ජීවිත කාලය පුරාවට ම අතිවිශිෂ්ට සමාජ සේවාවක් ඉටු කළ බවත් කලක් රණසිංහ ප්‍රේමදාස මහතා සමඟ අත්වැල් බැඳගෙන ගම්උදාව ව්‍යාපෘතිය සඳහා ද විශාල දායකත්වයක් ලබා දුන් බවත් තමා ද එතුමා අනුගමනය කළ ජනතාවාදී ජනහිතකාමී මානුෂීයවාදී ප්‍රතිපත්ති අනුව යන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එමෙන්ම දුර්ලභ, නිර්මල චරිතයක් වූ ඒ මහතාගේ මේ වියෝව අප රටට සහ ජනතාවට දරාගත නොහැකි පාඩුවක් බවත් එතුමාගේ සර්වෝදය ව්‍යාපාරය අදටත් අප රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉටු කරන බවත් දේශපාලනය හරහා පොදුජන සේවාවක් ඉටු කිරිමට අදහස් කරන ඕනෑම අයකුට මෙම සර්වෝදය ව්‍යාපාරය ආදර්ශයට ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.