බංකොලොත් දේශයක් වෙනුවට දියුණුයේ හිනිපෙත්තට යන දේශයක් වෙනුවෙන් වන මහා මුල්ගල තබමින් යන බවත් මේ රට අපේ සම්බුද්ධ සාසනය හා සමාන බවත් සිව්පසයේ නිවැරදි ගමන මත සම්බුද්ධ සාසනය ඉදිරියට යනවා සේ ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේදයකින් තොරව ඒකා මෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රටක් ලෙස ඉදිරියට යා හැකි බවත් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ අංශාධිපති පුජ්‍ය දඹර අමිල හිමි පැවසීය.

උන්වහන්සේ මේ බව කියා සිටියේ පසුගිය දා කළුතර පැවැති විනයගරුක සමාජයක් උදෙසා වූ භික්ෂූ උපදේශක සභාව අමතමිනි.

මහා සංඝරත්නය පෙරටු කර ගත් මඟ ශ්‍රී ලාංකේය ශිෂ්ඨාචාරය අනාදිමත් කාලයක සිට ගොඩ නැගූ බවත් ඒ මඟ හැර වෙනත් මඟක් නොමැති බවත් උන්වහන්සේ පැවසීය. පසුගිය කාලයේ ආගම්, ජාති කුල, මල ආදී ලෙස රට විවිධාකාරයෙන් බෙදා දැක් වූ බවත් මේ තත්ත්වය නැවත වරක් ඇති වීමට ඉඩ නොදිය යුතු බවත් නැවත වරක් සංස්කෘතික විරෝධි සදාචාර විරෝධි වැඩපිළිවෙළවල් ඉදිරියට එමින් මාක්ස් සරණ යන වැඩපිළිවෙළකට රට අවතීර්ණ වන බවක් පෙනෙන්නට ඇති බවත් එදා ගෝඨා ගැන මත කිව්වා වගේ නැවතත් ගෝඨාභය අංක 02ක් රට තුළ බිහි වුවහොත් නැවතත් රට ගොඩගත නොහැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.