ප්‍රතිශතයක් ලෙස 87%ක ජන මතයක් ලබාගනිමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පස්වන වරටත් රුසියාවේ ජනාධිපති ලෙස පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වන්නේ ව්ලැඩිමීර් පුටින්, ජෝසෆ් ස්ටාලින් අභිබවා ගොස් රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවට පත්වීමයි.

මෙම මැතිවරණ ප්‍රතිඑලයෙන් පසු තම ආධාරකරුවන් අමතමින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් කියා සිටින්නේ “රටේ එකම බලයේ ප්‍රභවය රුසියානු ජනතාව” බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කොමියුනිස්ට් අපේක්ෂක නිකොලායි කරිටොනොව් 4%කට අඩු ප්‍රතිශතයකින් දෙවන ස්ථානයට පත් වූ අතර, නවක අපේක්ෂක ව්ලැඩිස්ලාව් ඩවන්කොව් තුන්වන ස්ථානයට සහ අන්ත ජාතිකවාදී ලියොනිඩ් ස්ලට්ස්කි සිව්වන ස්ථානයට පත් වූ බවයි.

කෙසේ නමුත් පුටින්ගේ මෙම මැතිවරණය ජයග්‍රහණය නීත්‍යානුකූල නොවන බවට මේවන විට විවේචන එල්ලවී තිබෙන අතර ආක්ටික් ධ්‍රැවය ආශ්‍රිත ප්‍රදේශයක පවත්වාගෙන ගිය රුසියානු සිර කඳවුරකදී හසියේම ජිවිතක්ෂයට පත්වූ රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නිගේ මරණය පිළිබඳවද පුටින්ට චෝදනා එල්ල වී තිබේ.