චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ Wushi කෝරළයේ අද (23) අලුයම 2:09 ට භූමිකම්පාවක් සිදු ව තිබේ. ජනාකීර්ණ නොවන උස් කඳුකර ප්‍රදේශයක හටගෙන ඇති එහි ප්‍රබලතාව රිච්ටර් මාපාංක 7.1 ක් බව අදාළ බලධාරීන් නිවේදනය කර ඇත.

භූ කම්පනය සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 26 ක් දුරින් පිහිටි ෂින්ජ්‍යං හි Kizilsu Kirgiz ප්‍රදේශයේ තුවාල ලැබූ තිදෙනෙකු කඩිනමින් රෝහල කරා යොමුකර තිබේ. Wushi කෝරළයේ මිය ගිය හෝ තුවාල ලැබූවන් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

ගිනි නිවන හමුදාව සහ මුදාගැනීමේ කණ්ඩායම් රැසක් භූ කම්පනය සිදු වූ ප්‍රදේශයට පැමිණ තිබේ. එසේම, ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ හදිසි සේවා, ආපදා කළමනාකරණ, ප්‍රවාහන, ජල සම්පාදන, නිවාස ඉදිකිරීම්, සෞඛ්‍ය, සන්නිවේදන හා විදුලිබල ඇතුළු දෙපාර්තමේන්තුවල නිලධාරීහු සහන මෙහෙයුම් සඳහා එක්ව සිටිති.