විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ විපක්ෂයේ පක්ෂ නායකයන් සමග කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසී අද පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත මාධ්‍ය මර්ධන පනත (Online පනත) කල්දමන ලෙස ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.

මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ කෙටුම්පත විවාදයට ගැනීමට පෙර පක්ෂ නායක රැස්විමක් කැඳවන බවට කතානායකවරයා තීන්දුවක් දුන් බවත් එම නිසා එම පක්ෂ නායක රැස්වීම කැඳවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කතානායකවරයාගේ නිල කාමරය වෙත පක්ෂ නායකයන් සමග ගොස් ඇති විපක්ෂනායකවරයා ආණ්ඩුව අද ගෙනඒමට සූදානමින් සිටින ඔන්ලයින් පනත සම්බන්ධයෙන් සාකච්ඡා කර සමාජය තුළ සහ ජාත්‍යන්තරය තුළ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පැවතීම හේතුකොටගෙන මෙම පනත මේ මොහොතේ ගෙන ඒමෙන් වළකින ලෙස ආණ්ඩුවට දැනුම් දෙන ලෙසය.

දේශපාලන ව්‍යුහය තුල මෙසේ සිදුවෙද්දී සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් පාර්ලිමේන්තුව වට රවුම ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශීක් අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ඊයේ (22) හිමි වුණා.

ඒ, මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

මෙම රැස්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ රාජ්‍ය නොවන සංවිධානවල ජාතික ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරින් සහභාගී වූ බව සඳහන්.

එහි දී ගයන්ත කරුණාතිලක, ඉරාන් වික්‍රමරත්න සහ චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරු මෙම පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කොට සංශෝධන සිදු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බවයි පෙන්වා දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කරුණු සංශෝධන විය යුතු බැවින් කමිටුවට පෙන්වා දී ඇති අතර මේ හේතුවෙන් මෙම පනත් කෙටුම්පත කඩිනමින් සම්මත නොකොට තවදුරටත් කාලය ලබාගැනීම වැදගත් බව ද ඔවුන් අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුවත් කිරීම සිදු කරන බවයි කාරක සභාවේ සභාපතිවරයා විසින් දැනුම් දී ඇත්තේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමෙන් අනතුරුව ඒ සඳහා දින දෙකක විවාදයක් පැවැත්වෙනු ඇති.