හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාගේත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේත් මාධ්‍ය අධ්‍යක්ෂක වරයකු වශයෙන් කටයුතු කළ මාධ්‍යවේදී ඒ.බී ලලිත් ද සිල්වා මහතා විසින්, පසුගිය දා (05) “මගේ කතාව” යන මැයෙන් එළිදැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ ස්වයං චරිතාපදානය පිළිබඳව සටහනක් තබා තිබේ.

ඒ.බී ලලිත් ද සිල්වා මහතා විසින් මෙම සටහන “මගේ කතාවේ නොකීයූ තැන්” යන නමින් පහත ආකාරයෙන් සටහන් තබා තිබිණි.

A.B lalith de silva

“ඉම්තියාස්ගේ “මගේ කතාව” ට සෑහෙන ප්‍රසිද්ධියක් ලැබුනි. ඒත් මට ප්‍රශ්නයක් ඇත. ඔහු වැනි පුහු ප්‍රචාර වලටත්, හිස් අදහස් වලටත් අකමැති වූ A.P.J. අබ්දුල් කලාම් වැනි ප්‍රගතිශීලියකු හදිස්සියේම මේ පාන්නා වූ පෙළහර කුමක්ද යන්න ඒ ප්‍රශ්නයයි.

මා ඔහු දුටුවේ 1970 සමගි පෙරමුණු රජයෙන් අම්පාර කැලෑබද පාසලක සිට (මාගේ පියා ලංකා ගුරු සේවයේ ආරම්භක සභාපති – A.B.C. ද සිල්වා) කොළඹ ආනන්ද විදුහලට 9 වන ශ්‍රේණියට මා ඇතුලත් කර ගැනීමට රාජපක්ෂ විදුහල්පතිතුමා ක්‍රියා කළ කාළයේදීය.

 

අර බේරුවල බකීර්මාක කථානයකගේ පුතා ඉතියාස් යැයි මගේ මිතුරන්ගෙන් මට දැන ගැනීමට ලැබුනි. උපතේ සිටම ප්‍රගතිශීලී වූ මට UNP කාරයකු දැකීමත් ” ඇලජික්” විය.

හදිස්සියේම කනිෂ්ඨ විවාද කණ්ඩායමට තෝරන තරගයත් ආනන්ද වූ අතර මට ලැබුනු කථික මාතෘකාව “බයිසිකලය ” විය ඉතියාද එතැන සිටිය අතර

ඔහු බයිසිකලයේ ඉදිරියේම දමාගෙන UNP පතුරු ගැනීමට මෙය හොද අවස්ථාව වූ බැවින් මා කථාව පටන් ගත්තේ 1956 බණ්ඩාරනායක පොදුජනතා යුගයේ විප්ලවය නිසා, බයිසිකලය පොදු ජනතා වාහනය වූ බවත් UNP ය පොදුජන විරෝධී ප්‍රතිගාමීන්ගේ සමාජ ඇවරියක් ලෙසින් හදුන්වා මා විප්ලවීය කථාවක් කල විට ඉම්තියාස් නමැති UNP කාරයා අත්පුඩි ගස ගසා සිනා සෙමින් එහි රසය දුටු විට මම පුදුමයට පත්විමි. ඔහු ඒ කාළයෙන් සුන්දර වූ අයෙකි.

ඔහු විවාද කණ්ඩායම් වල කතා කරන විට විශේෂයෙන්ම ආනන්දය වැනි බෞද්ධ විදුහලක සිංහල විවාද කණ්ඩායම් නායකයා මුස්ලිම් කොල්ලෙකු වීම ගැන මා ආඩම්බර වුයේ විවාද තරග වලට ඇහුම්කන් දුන් පසුවය. මා නොදන්නා බෞද්ධ දර්ශනයත් මිනිස් කමින් අශ්ඨ ලෝක ධර්මයන් එක් කළ තැනූ පත අට එකට සිදු අරිෂ්ඨයක් වැනි ඔහුගේ කතාව අසු මට” මූ මාර බඩුවක්නේ යැයි ඉබේටම කියවුනි ”

පසු කාලෙක මගේ පියා (ABC) මැතිනිය ගේ දිනකර, සිරිලක, දිනරැස, ආදී පත්‍ර වල කතෘ ලෙසින් වැඩ කල අතර මමද එම පත්‍ර වලට සතිපතා ලිපි සපයන ලදී.

 

පාසලෙන් පසු අප දෙදෙනා දෙදිශාවට ගියද ගියද පත්තර ලිපි තුලින් ඉමිතියාස් මා පිළිබඳව නිතැනින් බැදී තිබූ බව කියැවෙන සිද්දියක් මෙසේ විස්තර කරමි.

තවත් පසු කාලෙක දී ඉතියාස්ගේ විවාහ මංගල උත්සවය 1981 සිදු වූ අතර වසර ගනනක් ගත වූවත් මගේ ලිපිනය නොදත් ඔහු තාත්තාගේ ඩාර්ලී රෝඩ් පත්තර කන්තෝරුවට මගේ නමට විශාල මගුල් කාඩ් එකක් තැපැල් කර එවනු ලැබිනි.

එය ඔහු පිළිබද මතකය ඈතට දිව යන සුන්දර අයුරු සිදු වීමකි

එය තිබුනේ කොල්ලුපිටියේ එවකට කතානායක නිල නිවස වූ ” මුන්ටාස් මහල් ” හිදීය ලොකු ලොකු මගුල් වලට සහභාගීවී පුරුද්දක් නැති මම තාත්තා සමඟ එහි ගිය අතර එතැන තිබුනේ ” සැනකෙළියකි” වෙසක් දවසේ තොරන් අබියස සේ එහි ඇගේ හැප්පෙන ජනතාවක් අතරින් ඉදිරියට ඇදුනු අප වේදිකාව මත මොහිදින් බෙග් සිංදු කියනවා දැක්කා මිස ඉමිතියාස් යුවලට කිට්ටු වීමටවත් මගක් නොවූයේ JR ලා ප්‍රේමදාසලා සිට සියළු VIP අමුත්තන් අතර අප කුඩා කුහුඹුවන් වූ බැවිනි.

 

සුදු ඇතිරූ දිගටි කෑම මේසය කොල්ලුපිටියේ මුහුදු වෙරළ දක්වා විහිදුනි මුහුදු සුළං සමඟ එක් වූ බුරියානි සුවදින් ගත සිත පිනා ගිය බව දැනුනි.

“මාර මගුලක් නේ ” යැයි තාත්තාට පැවසූ මම හතර අත බැලුවත් අඳුරන අය නොවූ බැවින් බඩකට පුරා බුරියානිද වටලප්පන්ද කෑවේ සෝවියට් ශ්‍රේෂ්ඨ ලේඛක නිකොලායි ගොගොල්ගේ ” මල මිනිස්සු නවකතාවේ ” තානායමට ගොස් එහි කතානයක විවිකෝව් බටකට පුරා කෑවාක් මෙනි. එම මගුල නැවතත් මතකයට නැගෙනවා නම් ඒ ගැන වෙනම කෙටි කතාවක් වුවද රචනා කිරීමට මට ආශාවක් ඇත.

මගුලට පැමිණ මනමාලයාට කථා කිරීමට පවා දැකීමටවත් නොහැකි වුවත් ඒ විශාල අත් දැනීම විඳගැනීම අප වැනි නිර්ධන පංතියේ දුප්පතුන් හට ඉට ලබා දුන් ඉතියාස් අද මම මානව දයාවෙන් ආචාර කරන්නේ ඔහු සතු උතුම් ගුණ ධර්ම හේතුවෙනි.

මහින්ද සහ ‍ෛමත්‍රී දෙදෙනාගෙම මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස වැඩ කළ මම ජීවිතයේ කිසිදු දිනක කිසිදු දේශපාලකයෙකුට හිස නොනැවූයේ මගේ පියා මට කියාදුන් කොන්ද කෙලින් තියාගෙන ඉදපන් කියන නියමය පිළිපැද්ද නිසාය.

 

පසු කාලෙක මා ලියූ ගීත ඇල්බමයක් නිකුත් කිරීමේ මහජන පුස්තකාලයේ පැවති උත්සවයට ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලෙසින් ඔහු පැමිනි අතර ඉන් පසු සමහර තැන් වලදී අප නිතර හමුවුනි.

ඇත්තටම කියනවා නම් UNP යේ මා දන්නා එකම UPN කාරයා ද ඔහුය. එදා මෙන් අදත් මම ඔහුට විරුද්ධය මා විරුද්ධ වන්නේ ඔහු සිටින ප්‍රතිගාමී පිළට බව මම හමුවන සෑම වාරයකම ඔහුට තේරුම් කළත් සුන්දර සිනාවක් කට පුරවා ගැනීම එය අනුමත කරනවා වැනි වූ නිසා ඉන් එහා දෙයක් කීමට මා අසමත් වෙයි.

පසු කාලෙක පලස්තීන සහයෝගිතාවය වෙනුවෙන් වූ සංසදයට මාධ්‍යවේදියකු වශයෙන් මටද ආරාධනාවක් ඉතියාස්ගෙන් ලැබුනු නිසා අප නිතර නිතර හමුවිය.

ඔහු අද UNP කාරයකු වුවත් නොවුනත් එකක් කිව යුතුය. සුදු බැටළු ගාලේ එක කළු බැටළුවෙකි, නිරුවත් දියවන්නා දූපතේ ඇඳුම් ඇඳගෙන සිටින අතේ ඇගිලි මෙන් කිහිපදෙනා අතර ඔහු ඉදිරි

පෙළ සිටියි.

ධම්මපදය, කුරානය, සහ බයිබලය එකට අනා සෑදූ සර්ව ආගමික භක්තිය නමැති අච්චුවේ වාත්තු කළ factory fitted හදවතක් ඇත් ඉතියාස් දේශපාලනයෙන් යමක් හරි හම්බකර නොගත් සෑබෑ අහින්සකයෙකි.

ඉතියාස් වඩාත්ම සුදුසු තාත්තාගේ පාරෙගිය මෙටට කතානයක කමටද මෙරට අගමැති කමටද යන්න මට දැන්මම කිව නොහැක.

ඔහු සර්ව ආගමික කුරුල්ලෙකි ඊස්ට්මන් වැනි වර්ණ සමනලයෙකි කෙටියෙන්ම කියනවානම් මෙරට රතු සමාජවාදී රජයක් බලයට ආවත් ඉතියාස් එහිද සිටිය යුත්තේ රත්තන්ටත් වඩා ඔහු රත්තෙකු බැවිනි.

ඒත් සමාජවාදී රැල්ලේ සිටිය යුතු රතු සමනලයකු කොළපාට වී ඇත්තේ කාගේ වරදින් දැයි මා නොදනිමි.”

 

මාධ්‍යවේදී

ඒ.බී. ලලිත් ද සිල්වා

08/03/2024