අධිකරණය දුන් නියෝගයට අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (02) ප්‍රකාශයක් ලබාගැනිමට නියමිතව තිබෙනවා.

ඒ, ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ගනුදෙනුව සම්බන්ධයෙන්.

මින් පෙර අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අවස්ථාවේ විවිධ හේතු දක්වමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී නොසිටි අතර එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණයට කියා සිටියේ කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව මගහැරීමට දැක්වූ හේතු අසත්‍ය බවයි. ඉන් අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊයේ (01) නියෝග කළා.

තවද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක් ද පැනවනු ලැබුවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විරෝධය ප්‍රකාශ කරමින් ලංකාවේ ප්‍රදේශ කිහිපයකත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටත් පසුගිය කාල වකවානුව පුරාවටම විරෝධතා පැවැත්වූ අතර මීට දින දෙකකට පමණ පෙර අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව ඉදිරිපිට කෙහෙළිය ගෝ හෝම් යනුවෙන් පැවැත්වූ විරෝධතාවයට සම්බන්ධ වූ පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන් විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතා වලදී විරෝධතාකරුවන් කියා සිටියේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුකළ අක්‍රමිකතා වෙනුවෙන් සිදුකළ පැමිණිලි සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නොසලකා හැර තිබෙන බවයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දූෂිත ක්‍රියාවලට එරෙහිව සහ ඖෂධ මාෆියාවට එරෙහිව ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියේය.

“කෙහෙළියට එරෙහිව සජබෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව කොයිතරම් ප්‍රායෝගිකද, දැන්වත් කෙහෙළියව අත්අඩංගුවට ගන්න” – වෛද්‍ය කාවින්ද ජයවර්ධන (VIDEO)