කිසිඳු දැනුම්දීමකින් තොරව රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් පිඩනයට පත්ව සිටින ජනතාවට දුන් පළමු ප්‍රතිචාරය ජල ප්‍රහාර සහ කඳුලූ ගෑස් බවත් විරෝධතාවයට පැමිණි පිරිසෙන් වැඩිදෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමඟ අතීතයේ සිට දේශපාලනය කළ පීරිස් බවත් මොන ආකාරයට මර්දනය කරත් සටහන අත් නොහරින අතර රනිල් රාජපක්ෂ රාජ්‍ය ත්‍රස්තවාදයට විරුද්ධව නුදුරේදීම අනිවාර්යෙන් පියවරක්  ගන්නා බවත් එස් එම් මරික්කාර් මහතා පැවසීය.

ඔවු මේ බව කියා සිටියේ පසුගිය 30 වන දින පැවති සමඟි ජන බලවේගයේ විරෝධතාවයට එල්ල කළ ම්ලේච්ඡ රනිල් රාජපක්ෂ රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාව හෙලාදකිමින්,

සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවයට විරුද්ධව කුරුදුවත්ත පොලිසිය වාරණයක් ලබාගැනීමට ගියත් අධිකරණය විසින් එම ඉල්ලිම ප්‍රතික්ෂේප කල බවත් අධිකරණයට ගරු කරමින් නියෝග ලබාදුන්න ප්‍රදේශවලට සමගි ජන බලවේගයේ විරෝධතාකරුවන් ගමන් නොකළ බවත් මරික්කාර් මහතා පවසයි.

මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

‘‘ත්‍රස්ත විරෝධි පනත , ඔන්ලයින් පනත යන පනත් හරහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරා ගැනීමට විරුද්ධව පෙළ ගැසෙන්නට ජනතාවට අයිතියක් තිබෙනවා. රටේ ප්‍රධාන විපක්ෂය විදිහට වගකීමක් තිබෙනවා. ජනතා ද්‍රෝහි දේවල් ආණ්ඩුව සිදුකරද්දි ඊට විරුද්ධව නායකත්වය ලබාදෙන්න. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතාව පෙළ ගස්වන්න ආණ්ඩු වලට විරුද්ධව ජනතාව ඒකරාශී කරන්න පුරුදු කළේ රනිල් වික්‍රමසිංහ.

සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවයට විරුද්ධව කුරුදුවත්ත පොලිසිය වාරණයක් ලබාගැනීමට ගියත් අධිකරණය විසින් එම ඉල්ලිම ප්‍රතික්ෂේප කළා. ඒ වගේම අධිකරණ නියෝග ලබාදුන්න ප්‍රදේශවලට සමගි ජන බලවේගයේ විරෝධතාකරුවන් ගමන් කළේ නෑ.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් වෙනුවෙන් පාරට බහින්න බැරි මර්දනකාරී තත්ත්වයක් නම් රට තුළ තිබෙන්නේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් නැති බව ජාත්‍යන්තරය ද පිළිගනියි. එයින් වන හානියට සමගි ජන බලවේගයට දෝෂාරෝපණය ඉදිරපත් කරලා වැඩක් නෑ.

සමගි ජන බලවේග විරෝධතාවයට වගේම මහජන පුස්තකාලය තුළට සහ විහාරමහා දේවි උද්‍යානය තුළටත් කඳුලු ගෑස් ප්‍රහාර පොලිසිය විසින් එල්ල කරලා තිබුණා. එයින් පෙනෙන්නේ ආණ්ඩුවේ අමානුෂිකත්වය සහ කූරත්වය. කදුළු ගෑස් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් මහජන පුස්තකාලය තුළ සිටි පාසල් දරුවන්ද දැඩි අපහසුතාවයකට පත්වුණා.

සමගි ජන බලවේග විරෝධතාවය නවත්වන්න අධිකරණයෙන් නියෝගයක් අරගෙන තිබෙනවානම් ඒ නියෝගය පොලිසිය විසින් පෙන්වන්න ඕන. කරුණාකරලා විසිර යන්න කියලා පොලිසිය ඒ වෙලාවේ දැනුම් දෙන්න ඕන.

මෙතෙක් කල් පොලිසිය කදුළු ගෑස් ගැහුවේ පළමු පොලිස් මාර්ග බාධකයේදී නෙවෙයි කදුලු ගෑස් ගැහුවේ දෙවැනි පොලිස් මාර්ග බාධකයේදී. එසේ නොකර පොලිසියේ විශාල පිරිසක් ගෙනල්ලා , කැරලි මර්දන නිලධාරින් ගෙනල්ලා ඔවුන් පහරදුන්නේ නිරායුධ ජනතාවට.

රටේ රාජ්‍ය නිලධාරින් , සිල්ලර ව්‍යාපාරිකයන් , ගෘහනියන් , දරුවන් වෙනුවෙන් තමයි සමගි ජනබලවේගය මේ විරෝධතා ව්‍යාපාරය සංවිධානය කළේ. ජනතාව පෙළෙන පීඩනය පිට කිරිමට විරෝධතා දක්වන්න අවසර දෙන් නැත්නම් නැවැත නැවත පෙළ ගැහිලා පාරට බහින එක තමයි කරන්න තියෙන්නෙ.

ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කියනවා අපි සෙනග ගෙනල්ලා කදුලු ගෑස් ගස්ස ගත්තේ ජාත්‍යන්තරයට පණිවිඩයක් දිලා සංචාරක කර්මාන්තය විනාශ කරන්නලු. රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍රවාදී කතාව වගේ. විපක්ෂයේ ඉන්නකොට ප්‍රජාතන්ත්‍රවාදය බලයට ආවාම ඒකාධිපතිභාවය. මොන ආකාරයට මර්දනය කරත් අපි සටහන අත්හරින්නේ නෑ. ඔක්තොම්බර් 16 න් පස්සේ රටේ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ නෙවෙයි. පොහොට්ටුවේ පිරිස ආණ්ඩුවේ මන්ත්‍රීවරුත් නෙවෙයි.

සමගි ජන බලවේග විරෝධතාවයට ආවේ පරණ එක්සත් ජාතික පාක්ෂිකයෝ. රනිල් වික්‍රමසිංහ දැන් ඒ පරණ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කදුලු ගෑස් ගහනවා. මේ ක්‍රියාවන් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට තිබුණ ප්‍රසාදයත් දැන් නැතිවෙලා ගිහින් තියෙන්නේ.

2022 ගෝඨාභය එලවන රැල්ල ආරම්භ කළා. ඒ ජනතා රැල්ල නවත්වන්න හදිසි නිතිය දැම්මා. අදිරි නිතිය දැම්මා. අපි ඒ කිසිවකට බය වුණේ නෑ. ඒ ගැන රනිල් වික්‍රමසිංහ දැන ගන්න ඕන. ගෝඨාභය කෙරෙහි තිබුණ බව නැතිකරලා ජනතාව මහ පාරට ගත්ත නිසා තමයි අරගලයක් ඇතිවුණේ. අරගලය නිසා තමයි රනිල් ජනාධිපති වුණේ.

රනිල් රාජපක්ෂයේ රාජ්‍ය ත්‍රස්තවාදයට විරුද්ධව අනිවාර්යෙන් පියවරක් ගන්නවා. ඒ වගේම මේ සටන රට පුරා ගෙනගොස් රනිල්ව සහ ආණ්ඩුව පන්නා දමනවා.‘‘