රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සමගි ජන බලවේග රජයේ අංක 1 ප්‍රමුඛතාව වී ඇති බවත් එසේ සිදු කරන ලද්දේ ඇයි කියන දේට හොඳම පිළිතුර පසුගියදා පාර්ලිමේන්තුවේ දී ලැබුණු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේ ඇත්තේ ගහමරා ගැනීමට නොව අදහස්, යෝජනා, තර්ක හුවමාරු කර ගෙන වඩාත් හොඳ රටක් බිහි කිරිම සඳහා දත්ත, තොරතුරු, සාක්ෂි සහ අදහස් කේන්ද්‍රීය වැඩපිළිවෙළකට යොමු වීමට වුවත් ඊයේ දිනයේ ජනතාව නියෝජනය කරන එනමුත් අධ්‍යාපනයක් නැති ඔක්සිජන් සහ කාබන්ඩයොක්ඩයිඩ් දෙකේ වෙනසවත් නොදන්න, අදහස් යෝජනා ඉදිරිපත් කරනවා වෙනුවට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කරන අධ්‍යාපනයේ නාමයක්වත් නැති පුද්ගලයන්ගේ හැසිරිමක් පාර්ලිමේන්තුවේ දුටු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැනුම, අධ්‍යාපනය නොමැති නම් ඕනෑම ප්‍රශ්නයකට පිළිතුර කඩුව, කිණිස්ස, උණ්ඩය, බෝම්බය, බයිනේත්තුව, පහර දීම්, හිරිහැර හා චණ්ඩි කම් විකල්පය කර ගෙන තම පැවැත්ම තහවුරු කර ගන්නා පිරිස සිටියත් අප අනාගත පරපුර වෙනුවෙන් දැනුම කේන්ද්‍රීය රටක් සහ ආර්ථිකයක් බිහි කළ යුතු බවත් ඒ තුළින් සුහුරු පුරවැසිය බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කලේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 49 වැනි අදියර යටතේ මැද කොළඹ වුල්වන්දාල් බාලිකා විදුහලට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණ හා පරිගණක අධ්‍යාපනය ගැන කියන විට සමහර පුද්ගලයන් විසින් එය සමච්චලයට ලක් කරන බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ ඇගලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ආරම්භ කරන විට පවා සුද්දියන්ට යට ඇදුම් මහන්න හදනවා යනුවෙන් සමච්චල් කළත් අද වන විට එම කර්මාන්තශාලා අප රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් සිටින බැවින් එවැනි සමච්චල් කිරීම්වලට නොසැලී රටක් ලෙස ඉදිරියට යාමට අධ්‍යාපන ක්‍රමයේ නැවුම් වෙනසක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

සෑම දරුවෙකුම ලක්ෂ 13ක ණය කාරයෙක් කරලා

එසේම පාසල් තුළ දේශපාලනය කතා කරනවා කියා තමාට විවිධ පුද්ගලයන් චෝදනා එල්ල කරන බවත් ඔවුන්ගෙන් අසන්නට ඇත්තේ දේශපාලනය කිරීමේ අයිතිය ඇත්තේ දෙමාපියන්ට පමණක්ද කියා යනුවෙන් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අම්මලා තාත්තලා සිදු කළ දේවල් සම්බන්ධයෙන් දැන ගැනීමේ අයිතිය පාසල් දූදරුවන්ට ද ඇති බව යි.

එසේ ම රටේ සිටින සෑම පාසල් ළමයකුම ලක්ෂ 12ක 13ක ණය කාරයෙක් වී ඇති බවත් ඒකපුද්ගල ණය බරතාව ලක්ෂ 13ක් දක්වා වැඩි කිරීමට මෙම වැඩිහිටි පුද්ගලයන් හේතු වූ බවත් ඒ සම්බන්ධයෙන් දරුවන් දැනගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමාජ මාධ්‍යයට ගිය පසු ඕනෑම තොරතුරක් ලබා ගත හැකි බවත් කෘෂිකර්මය, කර්මාන්ත හා ධීවර වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වැඩිහිටියන්ට වඩා දරුවන් දැනුවත් බව යි.

එබැවින් රටේ දුවා දරුවන් මෝඩයෝ කොට්ඨාසයක් ලෙස හැඳින්විය නොහැකි බවත් බංකොලොත් වූ රටේ පුරවැසියන් ලෙස පාසල් දූදරුවන් ද ඇත්ත සහ බොරු අතර වෙනසත් සත්‍ය සහ මිත්‍යාව අතර වෙනසත් දැන ගැනීමේ අයිතියක් ඇති බවත් එම අයිතිය වාරණය කිරිමට කිසිවකුට බලයක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන ‘හුස්ම’ වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 171ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, ‘සක්වල බස් රථ’ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 389ක් ද ‘සක්වල තොරතුරු තාක්ෂණ’ වැඩසටහන යටතේ පාසල් 49ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 457ක් වැය කර තිබේ.