ප්‍රාදේශීය සභාවල හිටපු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට නැවත ගමට යන්න හැකි වන පරිදි ජනාධිපතිවරයා රටේ සංවර්ධනයට යොදවා තිබෙන මුදල් යොදවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා ප්‍රකාශ කරනවා.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා මෙසේද කීය.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුපුරුදු පරිදි ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා තිබෙනවා. මේ රටේ ජනාධිපතිවරයා ලෙස පක්ෂයක් තිබුණත් මැතිවරණ වේදිකාවලට නගින්නේ නෑ, දේශපාලනය කරන්නේ නෑ කියලා ජනාධිපතිවරයා කියනවා. නමුත්, සියලු දෙනාම එකතුවෙලා පක්ෂ අමතක කරලා සියලු දෙනාම ආණ්ඩුව සමඟ එකතුවෙලා වැඩකටයුතු කළ යුතුයි කියලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

කෙසේ නමුත් ජනාධිපතිවරයා ඔහුගේ දේශපාලන ව්‍යාපාරය සුපුරුදු පරිදි ආරම්භ කරලා තිබෙනවා. ඒ අනුව රටේ තෝරාගත් පිරිසකට හාල් කිලෝ 20 බැගින් දෙන්න ජනාධිපතිවරයා කටයුතු කරලා තිබෙනවා.

ජනාධිපතිවරයා පොලොන්නරුව දිස්ත්‍රික්කය සංවර්ධනයට මිලියන 298 ක් වෙන් කරලා තිබෙනවා. මේ මිලියන 298 වෙන් කරලා පොලොන්නරු දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හරහා ගම්වලට විමද්‍යගත වන බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා. නමුත් එවැනි දෙයක් සිදුවුනේ නෑ. නමුත් පොලොන්නරුව දිස්ත්‍රික්කය සංවර්ධනයට වෙන්කළ මිලියන 298 සහ බෙදන හාල් කිලෝ 20 පොලොන්නරු දිස්ත්‍රික්කය නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හරහා පමණක් ගමට යන වැඩපිළි‍වෙළක් ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරලා තිබෙනවා.

ඒ වගේම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් පොලොන්නරුව දිස්ත්‍රික්කය සංවර්ධනයට වෙන්කළ මිලියන 298 න් ගම්මානවල සංවර්ධන කටයුතු සඳහා බෙදලා දෙන ලෙස ගැසට් නිවේදනයක් ද මේ වනවිට නිකුත් කරලා තිබෙනවා.

ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ ප්‍රාදේශීය සභාවල හිටපු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට නැවත ගමට යන්න හැකි වන පරිදි , ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය සිදුකරන්න පොලොන්නරුව දිස්ත්‍රික්කය සංවර්ධනයට වෙන්කළ මුදලින් ප්‍රතිපාදන ලබාදිලා තිබෙනවා”