ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් සහභාගී වීමට නියමිතයි.

මේ අතර අදාළ සාකච්ඡාවට සහභාගී වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයාට ද ආරාධනා කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජතයින් සමග පැවැත්වෙන සාකච්ඡාවට තමන් සහභාගී නොවන බව සමගි ජනබලවේගය නිවේදනය කර ඇති අතර ජාතික ජනබලවේගය පවසන්නේ, තමන් ද සාකච්ඡාවට සහභාගී නොවන ලෙසයි.

මේ අතර නිල නොලත් ආරංචි මාර්ග පවසන්නේ දෙමල ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් අද පැවැත්වෙන සාකච්ඡාවට සහභාගීවන බවට ප්‍රකාශ කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කරන මතවාදයන්ට අවස්ථාව ලබා දීම සඳහා මෙම සාකච්ඡාවට ආරාධනා කර ඇති බවයි, විපක්ෂය නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර සිටියේ  IMF නියෝජිතයින් සමග සාකච්ඡාවක් නොව ණයහිමියන් සමග සාකච්ඡාවක් ඉල්ලා සිටි බවත් එම සාකච්ඡාවට සුදානම් නමුත් ආණ්ඩුව ගෙන යන ඊනියා වැඩපිළිවලට සහයෝගය දැක්වීමට කිසිඳු අවස්ථාවකට සහබාගී නොවන බවයි.