හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා ‘ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්’ යැයි කළ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක් බවත් එම ප්‍රකාශයෙන් ලංකාවේ ස්වෛරීත්වයට දැඩි බලපෑමක් එල්ල වන බවත් කැබිනට් ඇමැතිවරයෙක් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඊයේ (19) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළේය.

තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසූ අදහස්,

‘‘ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ඉන්දියාවේ පැවැති ව්‍යාපාරික සමුලුවකදී ප්‍රකාශ කරලා තිබෙනවා. මේක බරපතල ප්‍රකාශයක්. ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට ප්‍රකාශ කිරිමෙන් ලංකාවේ ස්වෛරීත්වයට දැඩි බලපෑමක් එල්ල වෙනවා. ශ්‍රී ලංකාව 1948 නිදහසින් පසු ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. එවැනි අවස්ථාවේ කැබිනට් ඇමැතිවරයෙක් විසින් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරිමෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. කැබිනට් ඇමැතිවරයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා නොකිරිම බරපතල වරදක්. ඒම ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය දැඩි අප්‍රසාදය පළ කරනවා. ලෝකයේ සෑම රටක් සමඟ සහෝදරත්වයෙන් සහ රාජ්‍යත්‍රාන්ත්‍රිකව සම්බන්ධතා ඇතිව ක්‍රියා කළ යුතුයි. ඉන්දියාව සමඟ සුහද සම්බන්ධතාවයක් පවත්වා ගැනීම වැදගත්. ඉන්දියාව සමඟ තිබෙන රාජ්‍යත්‍රාන්ත්‍රිකව සම්බන්ධතා , ආර්ථික සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් කළ යුතුයි. නමුත් ඉන්දියාවේ කොටස් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වනවානම් එය වැරදි දෙයක්. හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා වහාම එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතුයි”

ලංකාවේ ස්වෛරීත්වයට ඍජුවම බලපෑම් කරන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ එම බරපතල ප්‍රකාශය පිළිබඳ අද පරිමේන්තු සභා ගර්භය තුලද වැඩි අවදානයට ලක් වූ අතර විමල් විරවංශ මහතා ප්‍රකාශ කර සිටියේ හරීන් ඇමතිවරයා අනිවාර්යෙන්ම මෙම ප්‍රකාශය පිළිබඳව නිවරදිකිරීමක් කල යුතු බවත් එවැනි බරපතල ප්‍රකාශයක් සිදුකල මන්ත්‍රීවරයකුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට වත්මන් රජයට කොන්දක් නොමැති බවත්ය.

ටෙලිකොම්, වරාය සහ බලශක්ති ක්ෂේත්‍රය වැනි රටේ මරමස්ථාන මේ වන විටත් විකිණීමට සුදානම් කර තිබෙන බව කියා සිටි විරවංශ අමාත්‍යවරයා කියා සිටියේ ලංකාව මේ වන විට විදේශ ප්‍රතිපත්තිය තුල ඉතාමත් බරපතල තත්වයක තිබෙන බවයි. ඔහු අවධාරණය කරමින් කියා සිටියේ රනිල් වික්‍රමසිංහට අවශ්‍ය ලෙස මෙම ක්‍රියාකාරකම් සිදුකිරීමට ඉඩ දී බලාසිටිම මහජන ඡන්දයෙන් තේරී පත්වූ අමාත්‍යවරුන්ගේ යුතුකම නොවන බවයි.