• සොච්චම් වන්දි බෑ. • ගොවීන්ව අන්දවන්නත් බෑ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොළොන්නරුවේ දී පවසයි. 

පොහොර තහනම් කොට ගොවිජනතාව මහා ව්‍යසනයකට ඇද දැමූ ආණ්ඩුව,ඒ ගොවි ජනතාව අසීරුවෙන් ගොවිතැන් කොට අස්වැන්න නෙළා ගන්නට සූදානම් වන විට චීනෙන් සහ ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට කටයුතු කොට ඇතැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

අනාගත කෘෂිකර්මාන්තය පිළිබඳව සමගි ජනබලවේගයේ දැක්ම, ප්‍රතිපත්තිය සහ වැඩ පිළිවෙල ඇතුලත් ” සමගි ගොවිජන ප්‍රකාශනය” දේශයට දායාද කිරීමේ අවස්ථාව අද (29) පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රය ඉදිරිපිට දී පැවැත්විණි. එ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඊනියා පොහොර තහනමක් මගින් මේ රටේ සරු බිම් මුඩුබිම් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් අතට ගත් ආණ්ඩුව තමන්ගේ ගජමිතුරුන්ට සහ සුවච කීකරු ගෝලයින්ට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඉපයීමේ අවස්ථාව සලසා දී ඇතැයිද විපක්ෂ නායකතුමා  පැවසීය.

• පෙරදිග ධාන්‍යාගාරය ට චීනයෙන් සහ ඉන්දියාවෙන් හාල්!

පෙරදිග ධාන්‍යාගාරය මේ රටේ බිහි වුණේ පොළොන්නරුව ඇතුළු රජරට ප්‍රදේශ මුල්කරගෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, එහෙව් ප්‍රදේශවල ගොවි ජනතාවට චීනෙන් ගෙන්වන හාල් කවන්නට තරම් දේශප්‍රේමී  ආණ්ඩුව පහත් තැනකට වැටී ඇතැයි ද පැවසීය.

2010 වන විටත් සහල්වලින් ස්වයංපෝෂිතව තිබූ රට අද වන විට චීන සහල්වලින් පුරවන තැනට මේ ආණ්ඩුව විසින් පත්කොට ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා ” අභාග්‍යයේ  දැක්ම” ක්‍රියාත්මක වීමත් සමඟම අද රට පුරා දක්නට ලැබෙන්නේ සාගතයක පෙර ලකුණු යැයිද පැවසීය.

• සොච්චම් වන්දි බෑ. පාඩුවට සරිලන වන්දියක් දෙනු!

මේ මොහොතේ අන්ත අසරණවී සිටින ගොවි ජනතාව වෙනුවෙන් වහාම වන්දි ලබා දිය යුතු බවත් ඒ පිලිබඳව යෝජනාව ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට රැගෙන ආයුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ගොවීන්ට වන්දි ගෙවීම වෙනුවෙන් අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා සියලුම සහාය කොන්දේසි විරහිතව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ දී ලබාදෙන බවද ඒ මහතා පැවසීය.

එය සොච්චම් වන්දියක් නොවිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා අනිවාර්යෙන්ම ගොවි ජනතාවට සිදුවූ පාඩුවට සරිලන වන්දියක් ලබාදිය යුතු බවද පැවසීය.

ග්‍රාමීය සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය ගොවිබිම බවට පත් කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, ගොවියා ශක්තිමත් කොට නගා නගාසිටුවීමේ පරම වගකීම සමගි ජන බලවේගය බාරගන්න බවද පැවසීය.

මේ දිනවල සමහරු ඇමතිකම් රාජ්‍යය ඇමැතිකම් බෙදා ගන්නට ගිවිසුම් ගසමින් ආණ්ඩු හදන්නට සැරසෙන බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය මේ අවස්ථාවාදී ක්‍රමය සහමුලින් වෙනස් කරන බවද පැවසීය .

දින වකවානු සහිතව කාල වකවානු සහිතව  සමගි ගොවිජන ප්‍රකාශනය ඉටු කිරීමේ වගකීම  තමන්ට පැවරී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා මේ රටේ ගොවි ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කළ යුගය අවසන් කරන බවද පැවසීය.

balavegaya 1643452437795
balavegaya 1643452444908