තමන්ට ජනාධිපතිවරණයෙන් ජය ගන්න නොහැකි නිසා කුමක් හෝ උප්පරවැට්ටියක් යොදවලා ජනාධිපතිවරණය නොතියා බලයේ සිටීමට රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුව උත්සහ කරමින් සිටින බවත් මේ දුරධාන්ත වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරිමට රටේ සියළුවම ජනතාව බලාසිටින බවත් මුජිබර් රහ්මන් මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව සහ ජනාධිපතිවරයා කුමන කූඨ උපක්‍රම යෙදුවත් රටේ සිටින ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව මැතිවරණ කල් දැමීමට කිසිඳු ඉඩක් නොදෙන බවත් ජනාධිපති මැතිවරණය නියමිත දිනයට අනිවාර්යෙන් පැවැත්වීය යුතු බවත් මැතිවරණය කල් දැමීමට සමගි ජනබලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස ආණ්ඩුවට කිසිඳු ඉඩක් නොදෙන බවත්ය.

අද (20) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව පැවැසීය.

වැඩිදුරටත් අදහස් දක්වූ මුජිබර් රහුමාන් මහතා මෙසේද පැවැසීය.

‘‘2024 අවුරුද්දේ ජනාධිපතිවරණය ඔක්තොම්බර් මාසයේ 16 පෙර පැවැත්විය යුතුයි. ජනාධිපති මැතිවරණ පැවැත්වීමේ වගකීම තිබෙන්නේ මැතිවරණ කොමිසන් සභාවට බව ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ පිළිබඳව අමුතුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදන නිකුත් කිරිමට අවශ්‍ය වන්නේ නෑ. මැතිවරණ කොමිසමේ වගකීම් ගැන ජනාධිපති මාධ්‍ය අංශය කරුණු පැහැදිලි කිරිමට අවශ්‍ය වෙන්නේ නෑ.

21 වන සංශෝධනයෙන් ස්වාධින මැතිවරණ කොමිසන් සභාවක් රටතුළ ස්ථාපිත කළා. ස්වාධින මැතිවරණ කොමිසන් සභාව තමයි මැතිවරණ පැවැත්වීමේ දිනය තීන්දු කරන්නේ. ස්වාධින මැතිවරණ කොමිසන් සභාව එවැනි තීන්දුවක් අරගෙන තමයි 2023 පළාත් පාලන මැතිවරණය පවත්වන්න දිනය තින්දු කළේ. නමුත් වර්තමාන ජනාධිපතිවරයා මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නොදි පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කටයුතු කළා. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරණයත් කල් දාන්න වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කරාවිදැයි කියන කතිකාවත සමාජය තුළ ඇතිවෙලා තිබෙනවා. පළාත් පාලන මැතිවරණය කල් දා ගත්තේ මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති නිසා නෙවෙයි පොහොට්ටුවට සහ වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඡන්ද නොමැති නිසා.

විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ඕන කියලා යම් යම් පාර්ශ්ව අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා. විධායක ජනාධිපතිධූරයේ තිබෙන බලපෑම් පිළිබඳව රට තුළ විවිධ සාකච්ඡා ද ඇතිවී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕන කියලා කතා කරන සංවිධාන පළාත් පාලන මැතිවරණය කල් දැමූ අවස්ථාවේ ඒ පිළිබඳව කතා කළේ නෑ. ඔවුන්ට ඒ පිළිබඳව ජනාධිපතිවරයාට බලපෑම් කරන්න නොහැකි වුණා.

වර්තමාන ජනාධිපතිවරයාට විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න අවශ්‍යතායක් තිබුණානම් පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා තෝරන ඡන්දය නොතියා ජනාධිපතික්‍රමය අහෝසි කිරිමේ සංශෝධනය ගේන්න තිබුණා. පසුව ජනාධිපතිධූරය අහෝසි කරලා අගමැතිධූරය ජනාධිපතිවරයාට භාර ගන්න තිබුණා. නමුත් ඒක කළේ නෑ. 2024 ජනාධිපතිවරණය ආසන්න වෙන අවස්ථාවේ ජනාධිපතිවරයා කියනවා විධායක ජනාධිපතිධූරය අහෝසි කරමු කියලා. තමන්ට ජනාධිපතිවරණයෙන් ජය ගන්න නොහැකි නිසා කුමක් හෝ උප්පරවැට්ටියක් යොදවලා ජනාධිපතිවරණය නොතියා ඉන්න රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුව උත්සහ කරනවා.

වික්‍රමසිංහ රාජපක්ෂ ඇතිකළ ආර්ථික පීඩනයෙන් ගැලවෙන්න ජනාතාම මාර්ගයක් සොයාගෙන තිබෙනවා. ඒ මාර්ගය තමයි ජනාධිපති මැතිවරණය. 2024 ජනාධිපතිවරණය නියමිත දිනයට අනිවාර්යෙන් පැවැත්විය යුතුයි. කිසිදු ආකාරයකින් කල් දාන්න බෑ. රටේ සියලුම ජනතාව බලාගෙන ඉන්නේ වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරන්න. මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව සහ ජනාධිපතිවරයා කුමන කූඨ උපක්‍රම යෙදුවත් රටේ සිටින ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව මැතිවරණය කල් දැමීමට ඉඩ නොදන බව අපට විශ්වාසයි. ජනාධිපති මැතිවරණය නියමිත දිනයට පැවැත්වීය යුතුයි මැතිවරණය කල් දැමීමට සමගි ජනබලවේගය ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ.

මහජනතාව , මාධ්‍යවේදීන් , දේශපාලන පක්ෂ , සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් , සිවිල් සංවිධාන , ජාත්‍යන්තර සංවිධානවල විරෝධතා මත ආණ්ඩුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තා. මෙම පනත කඩිනමින් සම්මත කර ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය වුණේ ඉදිරියේ එන මැතිවරණ වලිදී ආණ්ඩුවට විරුද්ධව ගොඩනැගෙන ජනතා විරෝධය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හරහා යටපත් කර ගන්න. මේ පනත පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදුකර මෙම පනතේ තිබෙන කරුණු ගැන අධ්‍යනය කරලා
ගේන්න තිබුණා. මෙම පනතේ අඩුපාඩු තිබෙන බව අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කරලා තිබුණා. පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය තීන්දුවක් අරගෙන තිබෙනවා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ තුනෙන් දෙකක් සංශෝධනය විය යුතුයි කියලා. පනතේ තුනෙන් දෙකක් සංශෝධනය කරනවා කියන්නේ මුළු පනතම වැරදියි කියන එකයි. මෙවැනි ක්‍රියාවලින් පෙනෙන්නේ වර්තමාන ආණ්ඩුවේ තිබෙන අසාර්ථක භාවය.

රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගය , මාධ්‍ය ආයතන , සිවිල් සංවිධාන , ජාත්‍යන්තර සංවිධාන මෙම පනතේ තිබෙන අඩුපාඩු පෙන්වලා දුන්නා. නමුත් ඒ පිළිබඳව කිසිදු තැකීමක් සිදුකළේ නෑ. ආණ්ඩුව පනත සම්මත කරලා පනත ක්‍රියාත්මක කිරිමට නොහැකිව සිටිනවා. ඔන්ලයින් පනත සංශෝධනය කිරිමට ආණ්ඩුව පිළිගැනිමෙන් පෙනෙන්නේ ජනතා බලය හරහා ඕනෑම කෙනෙක් දණ ගස්සන්න පුලුවන් කියලා. ‘‘

සමගි ජන බලවේගයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරලා තිබෙනවා

‘‘සමගි ජන බලවේගයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ වනවිට ආරම්භ කරලා තිබෙනවා. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස , පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ පක්ෂයේ මන්ත්‍රීවරු ලංකාව පුරාම ගොස් ආසන සංවිධායකරු , පක්ෂයේ ක්‍රියාකාරීන් , සාමාජිකයන් හමුවෙලා පක්ෂයේ ඉදිරි වැඩපිලිවෙල ශක්තිමත් කරන්න කටයුතු සිදුකරගෙන යනවා. අනුර කුමාර දිසානයක ජනාධිපතිවරණයෙන් ජයගන්නා බව එළිදක්වන වාර්තා පිළිබඳව මුලාශ්‍ර පිළිබඳව ගැටලුවක් තිබෙනවා. එම විශ්ලේෂණ සිදුකළ ආකාරය පිළිබඳවද තොරුතුරු සඳහන් වෙන්නේ නෑ. සමගි ජනබලවේගය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 27 ක් ලබාගත්තා. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ඡන්ද ලක්ෂ 55 ක් ඡන්ද ලබාගත්තා. ඒ නිසා 2024 ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගන්නා බවට වන විශ්වාසය අප තුළ තිබෙනවා.‘‘

සමගි ජනබලවේගය විධායක ජනාධිපතිධූරටය එකඟ නෑ

‘‘ජනාධිපතිවරයාට බලයේ රැඳි සිටිමට හැකි ඊළඟ පියවර වන්නේ පාර්ලිමේන්තුවට පැමිණිම. ඒ නිසා තමයි විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි කියලා සමාජය තුළ කතිකාවතක් ඇතිකරලා තිබෙන්නේ. සමගි ජනබලවේගය විධායක ජනාධිපතිධූරටය එකඟ නෑ. නමුත් ආණ්ඩුව මැතිවරණය ජය ගැනීමට නොහැකි නිසා මැතිවරණය ක්‍රම වෙනස් කිරිමට ගන්නා උත්සාහයට අපි එකඟ වෙන්නේ නෑ.‘‘

ෆොන්සේකාව ඉවත් කිරිමට සමගි ජනබලවේගය කිසිදු පියවරක් ගෙන නෑ

‘‘සමගි ජනබලවේගයේ සභාපති ධූරයෙන් සරත් ෆොන්සේකාව ඉවත් කිරිමට සමගි ජනබලවේගය කිසිදු පියවරක් ගෙන නෑ. එවැනි සාකච්ඡාවක්වත් සිදුවෙලා නෑ. සරත් ෆොන්සේකා හදිසියේ අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගැනීම පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. සරත් ෆොන්සේකාට යම් ප්‍රශ්නයක් තිබෙනවානම් ඒ ගැන සමගි ජනබලවේගයේ සිටින ජ්‍යෙෂ්ඨයන් සමඟ කතා බහ කරන්න පුලුවන්. ඔහුව පක්ෂයෙන් ඉවත් කිරිමට කිසිදු පියවරක් අරගෙන නෑ. පක්ෂ මුලස්ථානයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිසංවිධාන වැඩකටයුතු පිළිබඳ සාකච්ඡාවේදීත් සරත් ෆොන්සේකා අදහස් දැක්වූවා.‘‘

හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා සිදුකළ ප්‍රකාශය බරපතල ප්‍රකාශයක්

‘‘හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා සිදුකළ ප්‍රකාශය බරපතල ප්‍රකාශයක්. ඇමැතිවරයෙන් ලෙස ඔහු නොකළ යුතු ප්‍රකාශයක්. ලංකාව ඉන්දියාවේ කොටස් බව හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා ප්‍රකාශ කළේ සැහැල්ලුවෙන්. එවැනි ප්‍රකාශ වලින් පෙනෙන්නේ ආණ්ඩුවේ තිබෙන බංකොලොත්භාවය. කාටහරි රට විකුණලා බලය රැක ගන්න තමයි ආණ්ඩුව උත්සහ කරන්නේ. ආණ්ඩුවේ ඇමැතිවරු දේශපාලන අනාතයෝ බවට පත්වෙලා තිබෙනවා. තමන්ගේ ඇමැතිධූරයේ වගකීමවක් නොදැන තමයි හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා ඉන්දියාවේදී කටයුතු කරලා තිබෙන්නේ. දේශපාලනිකව ඔවුන් පිරිහිලා සිටින්නේ. හරින් ප්‍රනාන්දුගේ ප්‍රකාශය සමගි ජනබලවේගය දැඩි ලෙස හෙළා දකිනවා.‘‘