වනාන්තරයෙන් මව් ඇතින්න මරා හෝ එවැනිම කෘර ක්‍රම ඔස්සේ මංකොල්ල කන ලද අලි පැටවුන් කිහිපදෙනෙකු පසුගිය යහපාලන රජය සමයේ අත්අඩංගුවට පත් විය.ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ ඊට කලකට ඉහත සිට සිදු විය.පරිසර සංරක්ෂණවේදීන්ගේ හා අවංක වනජීවී නිලධාරින්ගේ මැදිහත්විම මත මෙම ජාවාරම හෙළි කර ගැනීමට හැකි විය.
මෙලෙස අලි පැටවුන් වනයෙන් ඇල්ලීම ආරම්භ වුයේ අනුව දශකය අග භාගයේ දී ය.එකල එය ඉතාම සුක්ෂමව අත්හදා බලන මට්ටමේ පසු විය.නමුත් එය ව්‍යාපාරයක් හා සෘජු ජාවාරමක් ස්වරැපයට පත් වුයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ දී ය.එකල වනයෙන් මඃකොල්ල කෑ අලි පැටවුන් සංඛ්‍යාව හැටකට වැඩි මිස අඩු නැත.ඒ අතරින් විස්සකට ආසන්න ප්‍රමාණයක් මේ පිරිස්වල සහාසික වඳ බන්ධන හේතුවෙන් මිය ගිය බව දන්නේ අතළොස්සක් පමණී.
කෙසේ වුව ද අත් අඩංගුවට පත් විමෙන් පසු එම අලි පැටවුන් සිටියේ රජය භාරයේ ය.ඔවුන් නඩත්තුව සඳහා හා එම පර්යේෂණ කටයුතු සඳහා රජයන් වැය කරන ලද ජනතා මුදල් ප්‍රමාණය කෝටි සිය ගණනකි.

පසුගිය දා එම අලි පැටවුන්ගෙන් කිහිපදෙනෙකු පෙර තබා ගෙන සිටි අයටම ලබා දුන් බව මේවන විට සමාජයම දන්නා කාරණයකි.එය සිදුකළ ක්‍රමවේදය පිළිබඳ සමාජය තුළ බරපතල කථිකාවක් ගොඩ නැගි ඇත.ඒ පොදු දේපලක් වන මේ සතුන් මේ ආකාරයට දුෂිත පිරිස් වෙතටම ලබා දීමට රාජ්‍ය නිලධාරින් වන නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිර්දේශ කිරීම’ම ගැටලුවකි.
මෙලෙස අනවසරයෙන් පෞද්ගලික පාර්ශවයන් තබා ගන්නා ලද අලි පැටවුන් අතර එන්.ජී. රාජපක්ස නැමැත්තෙකුගේ භාරයේ සිටි අලි පැටියෙකු ද සිටියේ ය.එම පුද්ගලයාගේ ලිපිනය වන්නේ අංක 26/ඒ, පැගිරිවත්ක මාවත මිරිහාන නුගේගොඩ යන්න ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ස මහතා ද පසුගිය ජනාධිපතිවරණ සටනේ දී සිය ලිපිනය ලෙස මැතිවරණ ලේකම් කාර්යාලයට ලබා දී තිබුනේ ද එම ලිපිනයම ය. ඉන් ගම්‍යවන්නේ මේ රාජපක්ෂවරැ දෙදෙනාම එක් අයෙකු බව ය.එනම් එන්. ජී. යනු නන්දසේන ගෝඨාභය යන්න බව ය.ඉන් කාරණා ගණනාවක්ම හෙලි වෙයි.
මේ අලි පැටවුන් නිදහස් කරන ලද්දේ කාගේ අලියා වෙනුවෙන් ද යන්න ඉන් තේරැම් ගැනීම අපහසු නොවේ.මෙම අලියා මේ වනවිට පැල්මඩුල්ල ප්‍රදේශයේ අයෙකු භාරයේ පසුවන බව ද දැන ගන්නට ඇත.කෙසේ වෙතත් එම අලියා ඇතුළුව එම අලි නිදහස් කිරීමේ ක්‍රියාවලියේ දී එයට එරෙහිව යම් සංවේදීබවක් පෙන් වූ සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ඉෂිණී වික්‍රමසිංහට ද එම තනතුරෙන් ඉවත් වන්නට සිදු විය.ඇය මේ ආණ්ඩුව ගෙන එම වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ අයෙකි.එහෙත් අවසානයේ ඇය ඉල්ලා අස් වුණා ය.
කෙසේ වෙතත් මෙහි ඇත්තේ අලි පැටවු යන කාරණාව පමණක්ම නොවේ.රටක පැවැත්මට අත්‍යවශ්‍ය නීතියේ අධිපත්‍ය බිඳ වැටීම යන කාරණය ද මේ හරහා මතු වෙයි.
මේ පිළිබඳ ගැඹුරින් කරැණූ සාකච්ඡා කරන පරිසර සංරක්ෂණවේදීන්ගේ සේම පරිසර නීති විශාරදයන්ගේ මතය වී ඇත්තේ ද ගරැ අධිකරණයට ඉදිරිපත් කරන ලද කරැණූවල දැඩි පරස්පරතා තිබෙන බවකි.
මෙලෙස නඩු භාණ්ඩ නිදහස් කරන ලෙස නීතිපතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ ඒවාට ආදාළ විමර්ශන අවසන් බව පවසමිනි.එහෙත් මේවාට ආදාළ විමර්ශන එලෙස අවසන්වන්නේ කෙසේද යන්න බරපතල කරැණකි.
අප කළ සොයා බැලීම් අනුව පෙනි ගිය කරැණක් වන්නේ ඇතැම් චුදිතයින්ගෙන් නිවැරදි කට උත්තරයක් පවා ලබා ගෙන නොමැති බවකි.එලෙසම ඒවා ලබා ගත යුතු ආයතන මේ ආකාරයට කටයුතු කරන තත්ත්වයට පත් කිරීම කනගාටුදායක ය.ජනතාවගේ නීතිමය අයිතිය වෙනුවෙන් පෙනි සිටිය යුතු නීතිපති දෙපාර්තමේන්තුව මේ ආකාරයට දුෂිතයින්ගේ පාර්ශවය ගැනීම ද විශාල ගැටලුවකි.මේ සියල්ලෙන්ම පෙනි යන්නේ ජනතාවගේ බඳු මුදල්වලින් නඩත්තු වන ආයතන ආණ්ඩුවේ දුෂිත යාන්ත්‍රණය හරහා දේශපාලනකරණයට ලක්ව තිබෙන බව ය.

මෙහිදි දෙවැනි කරැණ වන්නේ මෙම සතුන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සිදුවන විට එම සතුන් තබා ගෙන සිටි අයටම එම සතුන් ලබාදීම ය.ඊට අමතරව ලියාපදිංචිය සිදු කිරීමට ද අවසර ලබා දීමට ගරැ අධිකරණයට නිර්දේශ කිරිම ද ගැටළුකාරි තත්ත්වයක් මතු කරන්නකි.
එයට පාදක කර තිබෙන 2021.08.19 දින අංක 2241/41 දරන අති විශේෂ ගැසට් පත්‍රය සම්බණ්ධයෙන් ද බරපතල කරැණු රැසක් පැන නැගි තිබේ.ගෘහ ආශ්‍රිතව සිටින අලින් ලියාපදිංචියට භාවිතා කරන ලද්දේ 1991.05.14 දින අංක 662/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයයි.එය සකස් කර ඇත්තේ වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුකුලව ය.එලෙසම එය පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද්දකි.එහෙත් මෙම 2021.08.19 ගැසට් පත්‍රය විසින් 2009 සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ මුලික පදනම’ම ලෙස සැලකෙන වන සතුන් වාණිජමය කටයුතුවලට යෙදවීම තහනම් යන්න අමු අමුවේම උල්ලංඝණය කර තිබේ.ඒ මෙම අංක 2241/41 දරන ගැසට් පත්‍රය හරහා ය.එහි අලින්ව වාණිජමය අරමුණූ වන සංචාරකයින් ගෙන යාම එලෙසම බර ඇදීම හා බර වැඩවලට යෙදවීම යන කාරණා සම්බණ්ධයෙන් කරැණූ සඳහන් කර තිබේ.ඒ අනුව මෙතෙක් ආගමික හා සංස්කෘතික කටයුතුවලට පමණක් ගෘහ ආශ්‍රීත අලි ඇතුන් භාවිතා කළ යුතුබවට පැවති නීතිමය ප්‍රතිපාදනය වෙනස් වේ.ඒ හරහා අනාගතයේ දී පෙරහැරකටවත් අලියෙකු සොයා ගැනීම අසිරැවීමේ ඉඩකඩක් ද විවර විය හැකි යයි යමෙකුට තර්ක කළ හැකි ය.
එලෙසම මෙම පනතට කැබිනට් ආමාත්‍යවරයා වෙනුවට අත්සන් තබා ඇත්තේ රාජ්‍ය ආමාත්‍යවරයා පමණකි.එලෙසම එයට පාර්ලිමේන්තු බහුතරය ද ලැබි නැත.එහි නිවැරදි නොවන තැන් පවතින බව එයට අත්සන් කළ රාජ්‍ය ආමාත්‍ය විමලවීර දිසානායකම පවසා තිබේ.ඉන් ගම්‍යවන්නේ මෙය අත්සන් කළ කෙනාවත් අනුමත කර නැති බවකි.

එලෙසම මෙතෙක් අලි ඇතුන් සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමේ දී ලබා දෙන ආකෘති පත්‍රයේ එම අලියාගේ මව පියා ගැන සඳහන් කළ යුතුව තිබේ.එහෙත් මෙම නව ගැසට්ටුවේ සඳහන් දෙවැනි ආකෘති පත්‍රයේ එය හිතා මතා වංචනිකව වසන් කර තිබේ.ඒ හරහා එවැනි නිශ්චිත සම්භවයක් පෙන්විය නොහැකි අලින් සඳහා ද බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවති.එමගින් වනයෙන් මංකොල්ල කන ලද අලින් සඳහා ද බලපත්‍ර ලබා ගැනිමේ හැකියාව පළමු වතාවට හිමි වේ.මේ කාරණා සියල්ලම මෙරට වන අලින්ගේ හෙට දවසට බරපතල අනතුරක් ගෙන එන කාරණා බව පැහැදිලි කරැණකි.
මීට අමතරව පින්නවල අලි අභිජනන මධ්‍යස්ථානයේ සිටින අලින්ගෙන් පෙරහර කාර්යයන් සඳහා පුහුණූ කරන ලද අලි සංචිතයක් ලබා දීමේ හැකියාවක් පවතින බව එම ආයතනය මීට පෙර දැනුම් දී තිබේ.ප්‍රධාන පෙරහර අවසන්වීමෙන් පසු එම අලි නැවත එම ආයතනයටම ගෙන්වා ගන්නා අතර ඒ හරහා පෙරහරවලට ඉතාම පහසුවක් ඇති වේ.එහෙත් මේ ඊනියා අලි භාරකරැවන් එය ද අමතක කරන බවක් පැහැදිලිව පෙනේ.
මේ සියල්ලෙන්ම පෙනි යන්නේ මුල්ගල් විශේෂයක් වන අලි සම්පත විනාශයට යාම පමණී.සාමාන්‍යයෙන් වනාන්තර පද්ධති රැක ගැනීමේ තිරණාත්මක කාර්යය භාරයක් ඉටුවන්නේ මෙවැනි මුල්ගල් විශේෂ මගිනි.එම විශේෂ මෙලෙස විනාශයට ගෙන යාමෙන් අවසානයේ සිදුවන්නේ සමස්ත පරිසර පද්ධතිය වැනසී යාම ය.මේ ආණ්ඩුව හිතාමතාම ඒ අපරාධයට පාර කැපිම තම දෑතින්ම තම ගෙළ සිඳ ගැනීමකි.

නයනක රන්වැල්ල