සුහුරු අධ්‍යාපනය ශක්තිමත් කරන “සක්වල” සුහුරු පන්ති කාමර සහ සක්වල බස් රථ වැඩසටහන ඊර්ශයාව කුහකකම තුළ නතර කිරීමට උත්සාහ දරණ පිරිසක් සිටින බවත් සක්වල වැඩසටහන තහනම් කරනවා යනු මෙරට පාසල් පද්ධතිය අඩපණ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාසල් දියුණු වන විට හිරගෙවල් වැහෙනවා කියන නිසා මෙරට නිදහස් අධ්‍යාපනය තුළ පාසල් සියල්ලගේම ඉගෙනුම ලබන 41 ලක්ෂයක් දූදරුවන් මේ තුළින් ශක්තිමත් වන නිසා මෙවැනි වැඩසටහන් අඩපණ නොකළ යුතු බවත් ය⁣ම් හෙයකින් මෙම වැඩසටහන් තහනම් කිරීමට අරමුණක් ඇත්නම් ඒ තුළින් පාසල අඩපණ වී හිර ගෙවල් වැඩිපුර නිර්මාණය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ත්‍රීකුණාමලය කින්නියා ජාතික පාසලට සක්වල බස්රථ වැඩසටහනේ 84 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50කි වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

කිසිදු පාර්ශ්වයකට හිර ගෙවල් නිර්මාණය කිරීමට අවශ්‍ය නැති බවත් මේ වැඩසටහන් තුළින් සුහුරු සිසුවෙකු හරහා සුහුරු රටක් ගොඩ නැගෙන බැවින් මොන අභියෝග ආවත් මේ වැඩසටහන නතර නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටෙන් භාගයක් දුප්පත් වෙලා

මේ වන විට රටේ දුප්පත්කම වැඩි වී ඇති බවත් මේ මොහොත වන විට රටෙන් හරි අඩක් දුප්පතුන් වී ඇති බවත් මේ දුප්පත්කම තුරන් කිරීමේ ප්‍රධාන වැඩපිළිවෙළක් ලෙසක් සුහුරු අධ්‍යාපනය හැදින්විය හැකි බැවින් අධ්‍යාපනය ශක්තිමත් කර දැනුම සවිබල ගන්වා ඒ තුළින් හොඳ අධ්‍යාපනයක් රැකියාවක් හා ආදායම් මාර්ග උත්පාසනය කර දුගී දුප්පත්කම තුරන් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

කාන්තා සනීපාරක්ෂක පහසුකම් නොමිලේ

එසේම කාන්තාවන් දැරියන් ඇතුළු ස්ත්‍රීන්ට ලබා දිය යුතු සනීපාරක්ෂක සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා දෙන බවත් තුළින් වකුගඩු ආසාධනය, ගැබ් ගෙල පිළිකා තුරන් කල හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 57කට ලක්ෂ 1766ක් වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ ලබා දී ඇති අතර සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84කට රු. ලක්ෂ 4092ක් සහ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහන යටතේ පාසල් 119කට රුපියල් ලක්ෂ 50 වටිනා බස්රථ ලබා දී ඇති අතර එ සදහා රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දී ඇති අතර ඒ සදහා ලක්ෂ 1191ක පරිත්‍යාග සිදු කර තිබේ.