ඉන්දියාවේ මිනිසුන් බලා සිටියදී ඇද වැටී මියැදෙනු අපි දුටුවෙමු. පුළුස්සා දමන්නට නොහැකි තරමට මිනිසුන් මැරෙද්දී ඒවා සමූහ සෑයවල් මත අළු බවට පත්වෙන අයුරු සංවේගයෙන් බලා සිටියෙමු. ආණුඩුව සහ ඊට පක්ෂපාති වූවෝ අපි ඉන්දියාවට වඩා කොතරම් දක්ෂදැයි පුරසාරම් දෙසමින්, කඩා වැටෙන රට හමුවේ වැඩ පිළිවෙලක් නැතුව ඉබාගාතේ යමින් සිටි ආණ්ඩුවට එල්ල වූ විවේචන සෝදා හරිමින් කසල ශෝධක වැඩේ ඉහළින්ම ඉටු කළහ.

නමුත් සියල්ල කළමනාකරණය කර ගන්නට ඉන්දියාවට හැකියාව තිබිණ. ඊට සුදුස්සෝ ඔවුන් සුදුසු තැන් හී පිහිටුවා කටයුතු කළේය. පරම්පරාවකට සියලු දැණුම එක සැනෙකින් පහළ වෙන බව සිතා ඔව්හූ ගෝත්‍රිකයන් සේ කටයුතු නොකළහ. ඉන්දියාවටත් නැති මට්ටමේ වෛරස් විශේෂඥයෙක් පාර්ලිමේන්තුවේම සිටියත් සෞඛය ඇමතිකම පළමුව නීතිඥ වෘත්තීය දන්න අයෙකුටත්, දෙවනුව හෝටල් අධ්‍යාපනය ඇති අයෙකුටත් දෙන්නට තරම් ලංකාවේ ආණ්ඩුව බුද්ධිමත් විය. වගකීමක් පැවරුණු බුද්ධිමතා තමන්ගේ සෞඛය දැණුමේ සැකසහිත මහාචාර්ය පදවි ප්‍රාප්තිය ආරක්ෂාවට තබා ගනිමින් පවුල් පාලනයේ වසුරු බුදින්නෙක්ව ප්‍රශස්ති කණ්ඩායමේ සාමාජිකයෙක්ව හැසිරෙන්නේය.

මේ සියල්ල ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව කඩා දමා ඇති බව වසන්නට දිනේෂ් ප්‍රියන්තගේ රන් පදක්කම තවමත් ප්‍රදර්ශනය කරමින් ඇත. පියවරෙන් පියවර නැඟි සිට රන් පදක්කමට පෙර ද පැරා පදක්කමකට පිවිස සිටි දිනේෂ් ද, සිය හැකියාවේ ක්‍රමික වර්ධනය සම්පූර්ණයෙන්ම නාමල් රාජපක්ෂගේ කැමත්ත පරිදි වෛශ්‍යයා වෘත්තීයේ යොදවන්නට ඔහුට පැවරුවේය.
පාරේ මිනිස්සු මැරී වැටුණු ඉන්දියාවේ නිරාජ් චොප්රා මලල ක්‍රීඩාවෙන් ඉන්දියාවට පළමු රන් පදක්කම දිනා දුන්නේය. ඔවුන් තවත් රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් ද දිනා ගත්තේය. පැරා ඔලිම්පික් තරගාවලියේදී ඉතිහාසයේ ඉහළම දක්ෂතාවය පෙන්වමින් රන් පදක්කම් 5 ක් සහ රිදී 8 ක් සහ ලෝකඩ 6 ක් සිය පදක්කම් පැසට දමා ගන්නට ඉන්දියාවට හැකි විය.

මේ කතා පවසද්දී ඉන්දියාව අපට වඩා කොච්චර ලොකු රටක් ද යන්න පිළිතුරය. අපට වඩා විශාල වශයෙන් කුඩා සිංගප්පූරුවේ ජයග්‍රහණ ගැන කියද්දි නිෂ්පාදන ගැන කියද්දි ඒවා කුඩා නිසා පාලනය කරන්නට පහසු බව කියන වහලුන්ද ඇත. එයින් කියැවෙන්නේ රාජ්‍ය පාලකයාගේ දුබලතාවය වෙනුවට ලංකාවේ හැඩේ, විශාලත්වය වැනි භූගෝලිය සහ පරිසර සාධක මත මේ රට දේශපාලන පාලකයන් පෝෂණය කරන ජනතාව දුප්පත්වීම පදනම් කරගත් ඉරණමක් ඇති රාජ්‍යයක් බවය. එය විදීම හැර වෙනස් කිරීම කළ නොහැකි බවට හිත හදන වන්දිභට්ට සේවාවන් කුමක් වුවත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දැඩිව කඩා වැටෙමින් තිබෙන බව ඇත්තය.

ක්‍රිඩා භාණ්ඩ විශාල ප්‍රතිශතයක් එන්නේ විදේශයන්හී සිටය.ඒවා ද ආනයනය තහනම් ලැයිස්තුවේය. විශේෂ අවසරයක් ගෙන ගෙන්වන්නට යම් යම් අයට සහයක් ලැබෙනවා විය යුතුය. ඒත් එයින් පලක් නැත. ඒ සහය නිසාම ක්‍රීඩා භාණ්ඩවල මිල ඉහළ යන්නට කාරණාද එකතු වෙන්නේය. ඉකුත් වසරේ ලංකාවේ පාසල්වලට ක්‍රීඩා භාණ්ඩ බෙදා හැර නැත. මේ වසරේද ඒ ගැන හරි අවධානයක් යොමු වි ඇති බවක් පෙනෙන්නට නැත.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ගණනේ ඔලිම්පික් බලන්න යන්න ගුවන් ටිකට්පත ගත් බවට ප්‍රශස්තියක්ද ගැයුවේය. ඉන් පසු එහි සිට පැමිණ නිමාලි ලියනආරච්චි ක්‍රීඩිකාව සිය ධාවන පාවහන් ලංකාවේ දමා ගිය බවට පට්ටපල් කෙබරයක් පාර්ලිමේන්තුවේ දිග හැරියේය. ඒ ඔහුද ලංතාවේ සම්ප්‍රදායික දේශපාලනය අවශ්‍යය හොඳ කේලාම් අසන්නෙක් බව සහතික කරමින්ය. ඒ වගේම සොරි යන්න ඔහුගේ ශබ්ද කෝශයේ නොමැති බව තහවුරු කරමින් තව වනතුරු හැන්සාඩ් ගතව ඇති ඒ ප්‍රකාශය ඉවත් කර ඒ ක්‍රීඩිකාවගේ අනාගතයට සිදුවන හානිය ගැන කතා කර එය නිවැරදි කර නැත. ඒ තරමට ඔවුන් ජනතාව තමන්ගේ අතපල්ලෙන් වැටුණු බව සිතන උද්ධච්ඡකමෙන් සපිරුණු පිරිසක්ය.

ඔහු නොකි කාතව ඒ වන විටත් මෙරටට ධාවන පාවහන් නොගෙන්වන බවය. එය කොරොනාවෙන් නැවතී තිබිණ. ඒ හිඟය අදටත් එසේමය. ඉන්දියාව වසා දැමිණ. දැඩිව නීති ක්‍රියාත්මක විය. නමුක් එහි ආර්ථික ගමන සිඳු විය. එය නොනැවතී කරගෙන යන්නට අවශ්‍යය වැඩ පිලිවෙල සැකසීය. මෙරටේ වූයේ කොරොනා බෝ වේයැයි විදේශ ආනයන නවත්වා මිනිසුන් සම්බන්ධයෙන් නිසි වැඩ පිළිවෙලක් නොයෙදීමය. මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලක් මෙරට කොවිඩ්වලින් සිඳු වූ හානියට බරපතල ලෙස වගකිව යුතු වුවත් ඔවුන්ට යමක් ඒ වෙනුවෙන් කරන්නට බලධාරීන් කටයුතු නොකළේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරික ප්‍රජාවේ බැවිනි. මේ තත්ත්වයන් රටේ සෑම කේෂ්ත්‍රයකටම බලපාන අයුරින් ක්‍රීඩාවට ද බලපෑවේය. ක්‍රීඩා පුහුණුකරුවන්,ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවමත් සමහර විට තමන් දුවන ස්කූටියේ ලීසිංවලින් බැටකමින් ඇත. ඒ පවුල්වලට කොවිඩ් කළ හානිවලින් සිඳු වූ පිඩාව මෙන්ම පාඩුව ද තවමත් විසඳාගෙන නැත. ඒවා විසඳන්නට වැඩ පිළිවෙලක් ද පෙනෙන මානයක නැත. ක්‍රීඩාවට විවිධ අයුරෙන් සම්බන්ධ භාණ්ඩ නිෂ්පාදකයින් ප්‍රශ්න රැසකය. තවමත් අසන්නට ඇත්තේ අපි තමයි හොඳටම කරේ යන හිස් බව දෝංකාර දෙන පම්පෝරියය. අපිට වැරදුණා හදා ගමු යැයි කියන්නට තරම්වත් රාජපක්ෂ ලේවලම ඇති උද්ධච්ඡභාවය නිහතමානි තැනකට නොපැමිණෙන්නේය.

මේ මොහොතේ රසාලිප්ත හීන ලංකාවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් අතුරමින් සහ වපුරමින් ඇත. එහෙත් ඒවා යථාර්තය නොවේය. ක්‍රීඩාව තබා ක්‍රීඩා කරන්නට අවශ්‍යය ප්‍රමිතිගත භාණ්ඩයක් ලබා ගන්නට හැකි පරිදි හෝ ඉඩ සැකසී නැත. ගත හැකි දේ අධික මිලකි. ඒ නිසා මේ සිඳුවෙමින් තිබෙන්නේ ක්‍රීඩාවේ බොටුව මිරිකාගෙන හොඳින් හුස්ම ගන්නටයැයි අවවාද දීමය. ක්‍රීඩාව යනු ද රටේ සමස්තයේ පීඩාවෙන් මෝඩ තීරණවලින් බැට කන විශයක් පමණි. ඉන්දියාවට හිනා වෙන්නට හුරු කර අපි මාරයි කියපු අය දැන් ඉන්දියාවෙන් තෙල් ටිකයි කෑම ටිකයි හිඟන්නට යද්දී ඊට ප්‍රශස්ති ලියයි. මොළ හතක ප්‍රභාව ගැන කවි සිංදු ලියයි. හතක් නොව දහ හතරක් තිබුණත් ඒ සියල්ලම රටේ ජනතාවට අසම්බන්ධිත තමන්ගේ පරපුරට සහ තමන්ගේ බඩට සම්බන්ධ හැඟීම්වලින් පිරුණු ඒවාය. ක්‍රිඩා අමාත්‍යවරයාටත් පරම්පරාවෙන් ඒ එකක් හෝ පිහිටා තිබෙනවා විය හැකිය. තමන්ගේ පම්පොරිය,උද්ධච්ඡකම සහ තමන් අතින් කෙරෙන වැරදි ප්‍රකාශයකට හෝ නිහතමානිව නිවැරදි කරන්නට ඉදිරිපත් නොවන පුහු ආඩම්බරයේ සංඛේතයක් බවට ඔහු පත්ව ඇත්තේ එතැනින්ය. ක්‍රීඩාවද සමස්ත කඩා වැටීමේ වැලේම එල්ලි පහතට වැටෙමින් තිබෙන බව වසන්නට ඉද හිට තැනෙක මතුවන පෞද්ගලික දක්ෂතාවයක් මහා අශ්චර්යයක් සේ පෙන්නීම ක්ෂණික මෝචනයක් බඳුය. ක්‍රීඩාව දැවන්ත කඩා වැටීමකට ලක් වෙමින් ඇත. පහසුකම් සහ සේවා භාණ්ඩ මේ සියල්ල දිය වෙමින් ඇත. ක්‍රීඩාවට සම්පාදනය කර ගන්නට නොහැකි තරමට මිල වෙමින් ඇත. ඒවා හිතවත් ගජමිතුරන්ගේ පසුම්බි පුරවන ව්‍යාපෘති වෙනු මිස ඉදිරියේදි ක්‍රීඩකයාට ක්‍රීඩාවට සෙත සළසනු ඇත්තේ අඩුවෙන්ය. ඒ නිසා ලැබෙන පළමු අවස්ථාවේම ක්‍රීඩාව සහිත මේ දේශපාලන ගහ උගුල්ලා නොදැම්මොත් රටේ හෙට දවසේ ක්‍රීඩාව සම්බන්ධයෙන් පාංශකූලය දෙන්නට සිදුවනු ඇත.

සුගන්ධ රණසිංහ