ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ ජනපති ධූරයට පත්වනුයේ හැටනම ලක්ෂයක ජනවරමක් සමගිනි. ඊට කෙටි කලකට පසු පැවති මහ මැතිවරණයද පොදුජන පෙරමුණ ජයගත්තේ වාර්තාගත අයුරිනි. ඒඅනුව බලනා කළ මේ ඉන්නේ ලංකාවේ ජනප්‍රියම ආණ්ඩුව සහ ජනාධිපති විය යුතුය. එහෙත් ආණ්ඩුවේ මෙන්ම ජනාධිපතිගේද ජනප්‍රියබව අද වන විට බින්දුවට බැස ඇතිබවට උදාහරණ ඕනෑතරම් ය.

ජේ.ආර් ජයවර්ධනගේ සිට මෛත්‍රිපාල සිරිසේන තෙක් ලංකාවේ සිටි සෑම ජනාධිපතිවරයෙක්ටම බරපතල වූ විවේචන තිබුනි. එහෙත් ඒ කිසිම නායකයෙක් මහමගදී ජනතාවගේ හාස්‍යට හෝ අපහාසයට ලක්වූ බව අපට මතක නැත. ඒ අනුව බලනා කල වත්මන් ජනපතිවරයා පත්ව ඇත්තේ ඉතා අවාසනවන්ත තත්ත්වයකටය. ඔහුට මිරිහානේ සිය නිවස අසළදී කිරිපිටි පෝලිමක සිටි ජනයා හූ කීහ. ඊට ජනපතිගේ පිළිතුර වූයේ පොලීසිය දමා කිරිපිටි පෝලිම ඉවත් කිරීමය.

ඉන් අනතුරුව ගාල්ලේදී තේ ගොවියන් පිරිසක් පොහොර හිඟය නිසා තේ වගාවට සිදුවූ හානිය පිළිබඳ ජනපතිට එළිපිටම දොස් කීහ. එහිදී ජනාධිපතිගේ පිළිතුර වූයේ මවාගත් කේන්තියකින් ජනතාව මගහැර යාමය.

ජනාධිපති ඊළඟ අබග්ගයට මුහුණ දෙන්නේ සිය කාර්යාලයේ සිට මහ මගට බසිද්දීය . ජනතාවට ආචාර කරනුවස් වාහනයේ වීදුරුව පහත් කරනා ජනපතිගෙන් අවට සිටි අය අසන්නේ “දැන් සැපදැයි” කියාය. ජනාපතිගේ ප්‍රතිචාරය අත වනා එතනින් මාරු වීමය.

හැටනම ලක්ෂයක ජනවරමකින් ජනාධිපති ධූරයට පත් පුද්ගලයෙකුට එකී ජනවරමට දෑවසරක් පිරෙද්දී පාරට බහින්නට බැරි තැනට වැඩ කටයුතු සිද්ධ වීම දෛවයේ සරදමක් නොව අසමත්කමේ ප්‍රතිඵලයක් බව නම් නොකියාම බැරිය