ලෝකය බොහෝ දියුණු වී තිබේ.එහෙත් ඒ දියුණු ලෝකය පවා කොරෝනා අබියස ලිලිපුට්ටෙක් ගානට වැටුණි.

මේ සමඟම ලෝකය අලුත් අත්හදාබැලීම් සහ නව සොයාගැනීම් කෙරෙහි විශාල අවධානයක් යොමු කරන්නට විය. විශේෂයෙන්ම නව ඖෂධ සොයා යන්නට ඔව්හු උත්සාහ කළහ. කොරෝනා වලින් පසු තවත් මොන තරම් අර්බුද ලෝකයට ඒවි ද කියා  තවමත් නිශ්චිතව කියන්නට බැරිය . ඒ නිසා අන් කවරදාටත් වඩා විද්‍යාව කෙරෙහි ලෝකවාසීන් විශ්වාසය තබමින් සිටී.

අවාසනාවට ලංකාව විද්‍යාව වෙනුවට මිථ්‍යාවට කිට්ටු වෙන රටකි . ලංකාව පුරා සිටිනා අති විශාල ප්‍රමාණයක් වූ නව නිපැයුම්කරුවන්ට කිසිදු දිරිදීමක් ආණ්ඩුවෙන් නැත .කාලාන්තරයක් තිස්සේ මේ අවාසනාවන්ත තත්වයට ලංකාවේ නව නිපැයුම් සහ ඒ වෙනුවෙන් වෙහෙසවෙන නිමැයුම්කරුවෝ මුහුණදෙමින් සිටිති.

ඕස්ට්‍රේලියාවේ උපත ලද ප්‍රංශ නිමැවුම්කරුවෙකු වන ෆ්‍රාන්ස් සිය විවේක කාලය ගත කළේ පියාඹන පැරිෂුටයක් නිර්මාණය කිරීමටය. අවාසනාවකට එම පැරිෂුටය අත්හදා බැලීම සඳහා අයිෆල් කුළුනේ සිට බිමට පනින අවස්ථාවේදී පැරිෂුටය ක්‍රියාත්මක නොවීම නිසා ඔහු එතැනම මිය ගියේය.

මාරි කියුරි විකිරණ ශිල්පය පිළිබඳව පර්යේෂණ කළ රසායන විද්‍යාඥවරියකි. පොලෝනියම් හා රේඩියම් යන මූලද්‍රව්‍ය සොයාගැනීම පිළිබඳවත් විකිරණශීලතාව පිළිබඳ මූලද්‍රව්‍ය හඳුන්වාදීම පිළිබඳවත් ඇයට ගෞරවය හිමි විය. කෙසේ වෙතත් 1934 දී විකිරණ ශරීරගත වීම නිසා ඇතිවන  Aplastic Anemia නම් රෝගී තත්වය නිසා ඇය ජීවිතක්ෂයට පත් විය.

ඒ අනුව බැලූ විට නව නිපැයුම් කිරීම බෙහෙවින්ම අසීරු ක්‍රියාවලියකි. තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුල නිපදවීමට උත්සහ කරන අතරතුර නවසිය අනූ නව වතාවක් අසාර්ථක විය. එහෙත් සිය උත්සාහය අත් නොහැරි එඩිසන් කියා සිටියේ ‘බල්බයක් නිපදවීමට නොහැකි අවස්ථාවන් 999 ක් තමන් සොයාගත්’ බවයි. බල්බයක් නිපදවන ක්‍රමය සොයා ගැනීම එයින් පහසු වෙන බවත් ඔහු කීවේය. අවසානයේදී ඔහු බල්බය සොයා ගත්තේය.

නව නිපැයුම් යනු ලොව නව මාවතකට රැගෙන යන මිනිසුන්ගේ අපිරිමිත කැපකිරීමකින් ලබන ප්‍රතිපලය ය. එදා මෙදා තුර මානව සංහතියේ චිර පැවැත්ම උදෙසා නව නිපැයුම් තුළින් ලද පන්නරය අති මහත්ය.

වත්මන් ශ්‍රීලාංකේය සමාජය බෙහෙවින් පසුගාමී බවත්, ඉදිකටුවක්වත්  නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නොමැති බවත් ඇතැමුන් කලක සිට නැගූ අඳෝනාවකි.එකී අඳෝනාව සත්‍යයක් වන තරමටම තත්ත්වය කනගාටුදායක වූයේ සත්‍ය වශයෙන්ම එවැනි නිපැයුම් වලින් බොහෝ දෙනා දුරස් වූ නිසාය.

එහෙත් ඉතිහාසය ඊට වඩා හාත්පසින්ම වෙනස් ය.

මෙරටට තරම් විශ්මිත වාරි තාක්ෂණයක් කිසිවෙකුට තිබුණේ නැත. මෙරටට තරම් අනගි සිතුවම් කලාවක්, ගොවිතැන් කලාවක්, නව නිපැයුම් කලාවක් ලොව අන් රටවලට නොතිබුන තරම්ය. අරුම පුදුම තාක්ෂනයක් තුළින් සැකසුනු සීගිරිය නූතන ලෝකය පවා විශ්මයට පත්කරවන සුළුය. පැරණි ශී‍්‍ර ලාංකිකයාගේ අතිශය විශ්මිත නිර්මාණයක් වූ සීගිරිය ලාංකික සංස්කෘතිය හා ඔවුනගේ ප්‍රතිභාපූර්ණ නිර්මාණ ශක්තිය පිළිබඳ අපූර්වත්වය සමස්ත ලෝකයා හමුවේ තබන අති දැවැන්ත නිර්මාණයකි.

කෙසේ වෙතත් කාලානුරූපීව මෙරටින් මෙකී හැකියාවන් ක්ෂය වී ගොස් තිබේ. නො එසේනම්, එවැනි හැකියාවන් ඔප්නැංවීමට අවැසි සහයක් නොලැබී ගොස් තිබේ.එහෙත්,සියලු පීඩාවන් මැද වුවත් අප්‍රමාණ කැපවීමෙන් කටයුතු කොට නව නිපැයුම් කරනා අතලොස්සක් මෙරට තවමත් ඉතිරිව සිටී.

අවශ්‍ය වන්නේ ඔවුනට පෙරට එන්නට අත දීමය.රටේ සම්පත්වලින් උපරිම ඵල නෙළා ගැනීම සඳහා නව නිපැයුම් කෙරේ යොමු විය යුතු බවට තර්කයක් නැත.

නව නිපැයුම් සහ තාක්ෂණය සමඟ කටයුතු කරන සියලු රටවල් ලොව ඉදිරියෙන්ම සිටින රාජ්‍යයන් බවට පත්ව තිබේ.

ඊශ්‍රායලය ලොකයේ ඇති පැරණිම වගේම නවතම රාජ්‍යයක් ලෙස හදුන්වාදිය හැකි රටකි.

එතෙක් මෙතෙක් ලොව අරුම පුදුම තාක්ෂනික නිෂ්පාදන ගොන්නක පේටන්ට් අයිතිය හිමි වන්නේ මේ කුඩා රටේ මිනිසුන්ටය. හතරවටින් එන ආක්‍රමණ සියල්ල ආපසු හැරවිය හැකි ශුර යුධ කලාවක් ඔවුන් සතුය. නවීන තාක්ෂනය මොනවට යොදාගෙන කාන්තාර බිමක වගා කිරීමට තරම් ඔවුහූ නවීනත්වයෙන් පිරිපුන්ය. මුහුදු ජලය බීමට හැකි ලෙස සකසා ලෝකයට අලෙවි කිරීමට තරම් ඔවුහූ දක්ෂය.

මේ සියල්ල වෙනුවෙන් ඔවුන්ගේ ආණ්ඩු ලබා දෙන සහය අති විශාලය. ඔවුන් තවමත් සොයා ගෙන නැත්තේ ‘අමරණීය වීමේ ප්‍රතිකාරය’ පමණක් බව කියවේ.

ලොව පවත්නා ඉතාම කුඩා රටක් දුෂ්කරතා ජය ගන්නේ එසේය. ඒ අතින් ගත් කල ශ්‍රීලංකාව සොබාවික සම්පත් අතින් සශ්‍රීක බිමකි. නොකළ හැක්කක් නැති තරමට සම්පත් මේ කොදෙව්වේ වෙත්. අවැසි වන්නේ මඟ පෙන්වීම හා දිරි දීමය.

මෑත අවස්ථා කිහිපයකදීම මෙරට නව නිපැයුම් කරුවන් ‘නව නිෂ්පාදන’සිදු කළ අවස්ථා අසන්නට ලැබිණි. එවැනි නව නිපැයුම්කරුවන් ආරක්ෂා කිරීම උදෙසා රජයේ මැදිහත් වීම අතිශයින් වැදගත්ය. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට මෙවැනි කටයුතු වලදී අතිමහත් වගකීමක් පැවරේ.

මක් නිසාද යත් රටක ප්‍රගමනයට සේම ලෝකයේ චිර පැවැත්ම උදෙසා නව නිපැයුම් සිදු කරන්නන් අනගි මෙහෙවරක් ඉටු කරන නිසා ය.