රටේ දැවෙන ප්‍රශ්ණ විසදිමට ආණ්ඩුව කටයුතු නොකිරීමට විරෝධය දක්වමින් විරෝධතා ව්‍යාපායරක් සංවිධානය කළ යුතු බවට සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරු කණ්ඩායමක් පක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසට යෝජනා කර තිබුණේ දැනට සති කිහිපයකට පෙරදීය. මීට පෙර විපක්ෂ නායක කර්යාලයේ සිට ගොල් ෆේස් දක්වා ගමන් කළ විරෝධතා ව්‍යාපාරය ගැනත් සිහිපත් කළ සජිත් එදා ලැබූ සාර්ථකත්වයට වඩා වැඩි සාර්ථකත්වයක් ලබාගත හැකි විරෝධතාවයක් සංවිධානය කරන ලෙසට උපදෙස් ලබාදී තිබුණේය.

ඒ අනුව විරෝධතා පෙළපාලියක් සංවිධානය කිරීමේ වැඩි වගකීමක් තරුණ මන්ත්‍රීවරුන්ට පැවරිණි. එස්.එම්. මරික්කාර්, හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, නලින් බණ්ඩාර, මුජිබර් රහුමාන් ඇතුළු මන්ත්‍රීවරු විරෝධතාවයට සූදානම් වූයේ සති දෙකකට පමණ පෙර සිටය.

‘‘ආණ්ඩුවත් එක්ක කාලයක් හිටපු සමහර අය දැන් එලියට ඇවිත් ආණ්ඩු විරෝධය හයි ජැක් කරලා වෙන තැනක පාර්ක් කරගන්න හදනවා. ඊට පස්සේ අයිමත් ඒ අය ආණ්ඩුවට එකතු වෙන්න පුලුවන්. ඒ නිසා ආණ්ඩු විරෝධය හයි ජැක් කරගන්න දෙන්නේ නැතිව අපි විරෝධතාවය සංවිධානය කරමු’’ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා විරෝධතාවයේ සංවිධාන වැඩ කටයුතු අතරවාරයේදී පැවසුවේය.

‘‘පුලුවන් තරම් ජනතාව මේ විරෝධතාවයට එක් කරගන්න. විරෝධතා පෙලපාලිය ජනාධිපති ලේකම් කාර්යාලටය ගිහින් ජනාධිපති ලේකම් කාර්යාලය වටලලා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියන බලපෑම කරන්න ඕන ’’ සජිත් විරෝධතාවයට අවශ්‍ය ශක්තිය ලබාදුන්නේය.

‘‘අපි කොළඹ ස්ථාන දෙකකින් පෙලපාලිය ආරම්භ කරමු’’ මරික්කාර් යෝජනා කළේ විපක්ෂ නායක කාර්යාලය අසලින් සහ මාලිගාවත්තෙන් පෙලපාලි දෙකක් ආරම්භ කිරීමටය. ඒ අනුව මාලිගාවත්ත ක්‍රීඩාංගනය එදින වෙන් කරගැනීමටද කටයුතු කළේය.

විරෝධතා පෙළපාලිය සංවිධානය වන විට ආණ්ඩුවේ බුද්ධි අංශද දිගින් දිගටම මේ ගැන සොයා බලා තිබුණි. හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුලු සමගි කාන්තා බලවේගයේ ක්‍රියාකාරීන් ජනාධිපතිවරයාගේ නිවස වටලා විරෝධතාවයක් පවත්වන තෙක් ඒ ගැන ආරක්ෂක අංශවලට කිසිදු තොරතුරක් නොලැබීම නිසා කැලඹීමට පත්ව සිටි බුද්ධි අංශවලට කොළඹදී පවත්වන විරෝධතාවය ගැන කල් ඇතිව තොතරු ලබාගැනීමට අවශ්‍යවී තිබුණි.

‘‘මට දුරකතන ඇමතුම් දීලා සමහරු අපේ විරෝධය ගැන අහනවා. ඒව අහන විදියෙන්ම මේ කතා කරන්නේ ආරක්ෂක අංශයේ අය කියලා තේරෙනවා’’ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කීවේ තමන්ට ලැබුණ දුරකතන ඇමතුම් කිහිපයක් පිළිබදවය.

මේ අතර හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විරෝධතා පෙළපාලියෙන් අනතුරුව පන්දම් දල්වා විරෝධයක් දැක්විය යුතු බවට යෝජනා කළේය.

‘‘විරෝධතාවය ලංකාවේ මාධ්‍යයේ විතරක් නෙමෙයි ජාත්‍යන්තර මාධ්‍යයේත් අවධානය ගන්න පුලුවන් විදියට පවත්වන්න ඕන. ඒ නිසා අපි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පන්දම් පත්තු කරලා අපේ තියෙන විරෝධය පෙන්නමු’’හරින්ගේ යෝජනාවට සියල්ලෝම කැමැත්ත පල කළහ.

විරෝධතා පෙළපාලිය පැවැත්වෙන දිනයට පෙර දිනයේ සවස් වන තුරුම එහි ගමන් මග ගැන අවසන් තීරණයක් ගත්තේ නැත. ඒ කුමන අවස්ථාවකදී හෝ ආණ්ඩුව පෙලපාලිය කඩාකප්පල් කිරිමට කටයුතු කරනු ඇතැයි පැවති සැකය නිසාය.

ඒ අනුව පෙර දින රාත්‍රී නමයි තිහට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය කාර්යාලයේදී මන්ත්‍රී කණ්ඩායම හමුවූයේ පසුදින විරෝධතා පෙළපාලිය ගැන තීරණ ගැනීමටය

‘‘කොළඹට එන්න දුන්නට ජනාධිපති ලේකම් කාර්යාලය ළගට යන්න ඉඩ දෙන එකක් නැහැ කියලා තමයි දැනට ආරංචි තියෙන්නේ. කොල්ලුපිටියෙන් බැරියර් දාලා වහන්න හදනවා කියලා කියනවා’’ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර තමන්ට ලැබුණ තොරතුරුක් අනාවරණයක කළේය.

” අපි මාලිගාවත්තේ ඉදලා මරදාන, ටෙක්නිකල් හංදිය, කොටුව හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට එමු. අනික් පැත්තෙන් ටවුන් හෝල් ඉදලා කොල්ලුපිටිය හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිත්, ජනාධිපති ලේකම් කාර්යාලය වටලමු’’ මරික්කාර් කළ යෝජනාවට කාගේත් අනුමැතිය හිමිවිය

එහෙත් ගමන් මාර්ගය ගැන පසුදා වන තුරු මාධ්‍යයට කරුණු ඉදිරිපත් නොකිරීමට සියල්ලෝම එකගවූහ.

මේ අතර විරෝධතා පෙළපාලිය පැවති දිනයේ උදෑසන වන විට කොල්ලුපිටියේ ස්ථාන කිහිපය මාර්ග බාධක දැමීම සදහා අවශ්‍ය බැරියර් ගෙන ඒමට සූදානම් කර තිබුණි. එහෙත් දහවල් වන විට දස දහස් ගණනින් පිරිස කොළඹට පැමිණෙන බවට තොරතුරු ලැබීමටත් සමග එම බැරියර් ඉවත් කරගෙන තිබුණි.

විපක්ෂ නායක කාර්යාලය අසලින් විරෝධතා ව්‍යාපාරය ආරම්භ වන විටම සජිත් පෙළපාලියට එක්විය. විපක්ෂ නායක කාර්යාලයට වී පෙළපාලියේ වැඩ කටයුතු ආරම්භ වන ආකාරය ගැන සොයා බලමින් සිටි ඔහු පෙළපාලිය ආරම්භයේ සිට අවසානය දක්වාම පයින් ගමන් කළේය.

ඇතැම් තැන්වලදී පෙළපාලිය පාලනය කරගැනිමට අවශ්‍ය වූ විට ඔහු දිවයමින් පෙළපාලිය මෙහෙයවූවේය. ඔහු සමග ගමන් කරමින් සිටි සරත් ෆොන්සේකාටද සජිත් සමග දිව යාමට සිදුවිය.

විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භවු පෙළපාලිය ජනාධිපති ලේකම් කාර්යාලය අසලට එන විට මාලිගාවත්තේ සිට පැමිණි පෙළපාලියත් ක්‍රමයෙන් ඉදිරියට එමින් තිබුනේය. පෙළපාලි දෙකම එකම අවස්ථාවේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණිමට අවශ්‍යවූ නිසා දෙපැත්තේම පෙළපාලි සංවිධානය කරමින් සිටි කණ්ඩායම් දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ගමන් ගන්නා වේගය ගැන කතා බස් කරගන්නට විය. හරින් සහ නලින් බණ්ඩාර මාළිගාවත්තේ සිට පැමිණි අතර මනුෂ සහ මරික්කාර් විපක්ෂ නායක කාර්යාලයේ සිට පැමිණෙන පෙළපාලියේ ගමන් මග ගැන දැනුවත් කළේය.

මාළිගාවත්තේ සිට පැමිණි පෙළපාලිය කොටුව හරහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණිමට තරමක වේලාවක් ගත වූ නිසා විපක්ෂ නායක කාර්යාලයේ සිට පැමිණි පෙළපාලිය අරලියගහ මන්දිරය ඉදිරිපිට නරතවී ටික වේලාවක් විරෝධය දැක්වූවේය. ඉන් පසුව එම පෙළපාලියත් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් ආරම්භ කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි විරෝධතා පෙළපාලිය ඇමතීමට ශබ්ද විකාශන යන්ත්‍ර සවිකළ වාහන දෙකක් ගෙනවිත් තිබුණේය. එක් වාහනයක වේදිකාවක්ද සකස් කර තිබුණි.

වේදිකාවට ගොඩවූ සජිත් කොනක් නොපෙනෙන ජන ගගට ආචාර කරන්න විය. වේදිකාව තිබූ උසට වඩා වැඩි උසකට නැගීමට සජිත්ට අවශ්‍ය විය. ඒ අනුව එතැන තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර කිහිපයක් මතට නැගුණ සජිත් විරෝධතාකරුවන්ට ආචාර කළේය. තවත් ටික වේලාවකින් වවේදිකාව සකස් කර තිබූ වාහනයේ වහලය මතට ඔහු නැගුනේ පැමිණ සිටින ජනතාවට හොදින් පෙනෙනෙ ලෙසට ආචාර කරමිනි.

ජනාධිපතිවරයාට වහාම ගෙදර යන්නැයි සජිත් තද කතාවක් කරමින් පැවසුවේය.

දුර්දාන්ත ජනතා විරෝධී රාජපක්ෂ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යවන සටන අපි ආරම්භ කරල තියෙනවා. වැඩ කරනවායි කියපු විරුවා අද වැඩි කරන විරුවා බවට පත්වෙලා. ජනතාව එදා කිව්වේ “අතිගරු ජනාධිපතිතුමා” කියලා. දැන් ජනතාව කියන්නේ “ඇති ගරු ජනාධිපතිතුමා” කියලා. ගෑස්ටික් ටික, කන්න ආහාර වේලක් හොයා ගන්න නැතුව, දරුවෝ හාමතේ තියලා තමයි අද මේ ජනතාව මෙතෙන්ට ඇවිල්ල තියෙන්නේ. ජනතාව මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ දුර්දාන්ත දුෂ්ට රාජපක්ෂ ආණ්ඩුව කියලා අපි මතක් කරන්න කැමතියි.

අද ගොවියා, ධීවරයා, කම්කරුවෝ ත්‍රීරෝද රථ රියදුරු අනාථ වෙලා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අනාථ වෙලා. ව්‍යාපාරික පන්තිය අනාථ වෙලා. ජන සමාජයේ පහළ සිට ඉහළ දක්වාත් ඉහළ සිට පහළ දක්වා අනාථ වී ඉන්න මොහොතක මෙහි පැමිණ සිටින අයට අපි දෑත් ඔසවා ආචාර කරනවා. කිසිම බියක් සැකක් නැතුව මෙතැනට ඇවිල්ලා සමගි ජන බලවේගයේ ජන බලය රටට පෙන්නුවා කියන එක මම මේ අවස්ථාවෙදී කියන්න කැමතියි.

දැන් අවුරුදු දෙකක් රටේ ජනතාව දුක් විඳිනවා. ජනතාවට තවත් මේ දුක උහුලන්න දෙන්න බැහැ. ජනතාව මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ ආණ්ඩුවයි. අපි මේ ස්ථානයට ආවේ මේ දූෂිත දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුව ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළට කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි.

අපි ආවෙ රට කාබාසිනියා කරපු ආණ්ඩුවට ගෙදර යන්න කියන පණිවිඩය දෙන්න. උද්ධච්ච, ජන හද ගැස්ම නොතේරෙන මේ ආණ්ඩුව ජනතා දුක අහන්න සූදානම් නැහැ. ජනතා දුක අහන්න සූදානම් නැති මේ ආණ්ඩුව ගෙදර යවන්න ඔබ සූදානම් ද කියලා අපි ජනතාවගෙන් අහනවා.

මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ආණ්ඩුව පලවා හරින ගමන අපි අද සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුව ජන බලයෙන් ජන සවියෙන් ගෙදර යවන ගමන අපි ආරම්භ කරනවා.
දූෂණයෙන් වංචාවෙන් බැහැර වෙච්ච පිරිසිදු පාලනයක් තුළින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ රජයක් තුළ පාලකයන්ට තිබෙන වරදාන වරප්‍රසාද අපි අවම කරලා පොදු ජනතාවට එම සියලු වරදාන වරප්‍රසාද ලබා දෙනවා කියන එක මම කියනවා.”සජිත් කීවේය.

මන්ත්‍රී කණඩායම් හමුවක්

විරෝධතාවය පැවති දිනට පසු දිනයේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. ඒ විරෝධතාවයේ සාර්ථකත්වය ගැන අවධානය යොමු කිරීමට සහ ඉදිරි වැඩපිළිවෙල ගැන අවධානය යොමු කිරීමයට.

‘‘අති සාර්ථක විරෝධතාවයක් අපි පැවැත්වූවා. මේකට සහාය වුන හැමෝටම ස්තුතියි’’සජිත් සියලු දෙනාටම සිය ස්තුතිය පුද කරමින් පැවසුවේ මෙම විරෝධතාවය ආණ්ඩුව පළවාහරින තෙක් ඉදිරියට ගෙන යා යුතු බවය.

ඒ අනුව ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු විරෝධතා ව්‍යාපාර ගැන දීර්ඝව මන්ත්‍රී කණ්ඩායමේදී සාකච්ඡා විය.